ජනපතිවරණය ජය ගන්න ලක්ෂ 65-70ත් අතර ඡන්ද ගත යුතුමයි | දිනමිණ

ජනපතිවරණය ජය ගන්න ලක්ෂ 65-70ත් අතර ඡන්ද ගත යුතුමයි

චමීර ඇල්ලදෙණිය

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයට නම් අපේක්ෂකයා කවුරු වුණත් ඡන්ද ලක්ෂ 65ත් 70ත් අතර ලබාගත යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කර සිටියේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැඟිල්ල සහ කර්මාන්ත ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී අදහස් දැක් වූ ඇමැතිවරයා, 2014 සැප්තැම්බර් මාසේ තමයි ඌව පළාත් මැතිවරණය තිබ්බේ. එහි ප්‍රතිඵල නිකුත් කෙරෙන කොට උදේ පාන්දර 5.00යි. ඒ වෙලාවේ දුරකතන ඇමතුමකින් එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපව කැඳෙවුවා. එහි දී බැසිල් රාජපක්ෂ මහත්මයා අපට ප්‍රසන්ටේෂන් එකක් පෙන්නුවා. එහි තිබුණේ පළාත් නමයෙම ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරිලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්ෂ 50ක් ඡන්ද අරන් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 24 යි, ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ තුනහමාරයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුන් ලක්‍ෂ හැත්තෑපන් දහසයි. දෙමළ සන්ධානය ලක්‍ෂ පහයි. අපි ලක්ෂ පනහයි. මුළු ඒකාබද්ධ විපක්ෂයම එකතු කළහම ලක්‍ෂ 36 යි කියලා කිවුවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා නැගිටලා කිවුවා මම ඉක්මනින් ජනාධිපතිවරණය තියන්න යනවා ලැහැස්ති වෙන්න කියලා. ලක්ෂ පනහක් එක්සත් ජනතා සන්ධානයේ, විපක්ෂයේ සියලූම දේ එකතු කළත් ලක්ෂ 36 නිසා ඉතාම පහසු ජයක් තියෙනවා වගේ හැමෝම බොහොම සතුටින් විසිරිලා ගියා.

මම වචනයක්වත් කිවුවේ නැහැ. මම එළියට යනකොට මහින්ද මහත්මයා කතා කරලා ඇහුවා ඇයි ඇමැතිතුමා මොකුත්ම කතා කළේ නැත්තේ ඔයත් ගණන්කාරයෙක්නේ මොකද කියන්නේ බැසිල්ගේ ගණන් ගැන කියලා. මම කිවුවා ඔබතුමා පරාදයි කියලා. කොහොමද එහෙම වෙන්නේ ලක්ෂ 50ද, ලක්ෂ 36ද ලොකු කියලා මගෙන් ඇහුවා. බැලූ බැල්මට එය තමයි ඇත්ත. මම එතුමාට කිවුවා ඔබතුමා බලගතු ප්‍රතිසංස්කරණයක් නොකළොත් ඔබතුමා පරාදයි. හේතුව මේ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දී තිබෙන්නේ 65% යි. නමුත් ජනාධිපතිවරණයේ දී 85% ක් ඡන්දය දෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දී ජය ගන්න ඔබතුමාට ලක්ෂ 60ක් ඕනේ. 60 පන්නන කෙනා තමයි දිනන්නේ. පනහෙන් හැට හැදෙන්නේ නැහැ. ඉතුරු ලක්ෂ 10 ගන්න එක අතිශය දුෂ්කරයි, ඔබතුමා ගැන, ඔබතුමාගේ පවුලේ අය ගැන මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව, මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් කරන්න කියලා මම යෝජනා කළා. එතුමා ඒක මට යෝජනා කරලා ලිඛිතව එවන්න කිවුවා. මම ඔක්තොම්බර් 24 වැනිදා එතුමාට ලියවිල්ලක් දුන්නා කළ යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයයි, විධායක ජනාධිපති ධුරයයි, පවුලේ කටයුතුයි සේරමත් එක්ක.

මම කිවුවා මේ පාරනං හැබැයි දෙන්නං කාසිවලට බැහැ. මේ පාර නම් උත්තරයක් ඕනේ කියලා. එතුමා මට නොවැම්බර් මාසේ 15 වැනිදා ලිපියක් එවලා කිවුවා ඒ කිසිවක් ඉටු කරන්න බැහැ කියලා. ඊ ළඟ ජනාධිපතිවරණයෙන් පසුව බලමු කියලා ඒ කියන්නේ 2020 දී. මම එතුමාට ගෙදරටම ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා 18 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් තියලා කිවුවා මෙයාව අයින් කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඡන්දෙට ගියා. අපි දන්නවා අපේ පක්ෂවලත් හිටපු හුඟක් අයට විශ්වාසයක් තිබුණේ නැහැ එම ඡන්දයෙන් මහින්ද මහත්මයාව පරද්දන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඒ ඡන්දය දිනුවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලක්ෂ 62 යි. මහින්ද මහත්මයා ලක්ෂ 58යි. දැනුත් මේ මායාව පොහොට්ටුවේ කට්ටිය කරගෙන යනවා පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්. අපි එක් දෙයක් මතක තබා ගත යුතුයි. මෙවර ලක්ෂ 158ක් ඡන්දය දෙනවා. එයින් වලංගු ඡන්ද අනිවාර්යයෙන්ම ලක්ෂ 135 - 140ත් අතර එනවා. ජයග්‍රාහකයා කවුරු වුණත් ලක්ෂ 65 - 70 ත් අතර ගන්නම ඕනේ. ලක්ෂ 49 කියන්නේ ලක්ෂ 65 නෙමෙයි යැයි පැවැසීය.

 


නව අදහස දක්වන්න