රාජකාරියේ දී ජීවිත හානිවන ලංවිම සේවකයන්ගේ පවුලේ සාමාජිකයකුට රැකියාවක් | දිනමිණ

රාජකාරියේ දී ජීවිත හානිවන ලංවිම සේවකයන්ගේ පවුලේ සාමාජිකයකුට රැකියාවක්

රාජකාරියේ යෙදී සිටිය දී ජීවිත අහිමිවන ලංකා විදුලි බල මණ්ඩල සේවකයන් වෙනුවෙන් පවුලේ සාමාජිකයකුට සුදුසුකම් මත ලං. වි. ම. රැකියා අවස්ථාවක් ලබා දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අවධාරණය කරයි.

10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළට නංවන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලං. වි. ම. ට වසර 50ක් සපිරීම නිමිත්තෙන්, පිය පුතු පදනම මත සේවක පවුල් සාමාජික සාමාජිකාවන්ට ලං. වි. ම. පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පිළියන්දල පුහුණු කිරීම් ආයතනයේ දී මෙසේ පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරිණි. මෙහි දී සේවක දරුදැරියන් 123ක් වෙනුවෙන් ඇමැතිවරයා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

එහි දී අදහස් දැක් වූ ඇමැති කරුණානායක මහතා,

‘ලංකා විදුලිබල මණ්ඩලය මේ රටේ යටිතල පහසුකම් සඳහා විශේෂ තත්ත්වයක් ලබාදීලා තිබෙන්නේ. මේ ආයතනයේ සේවය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. පිරිසක් කාර්යාල තුළ සේවය කළත්, තවත් පිරිසක් දැඩි වගකීමක් සහිත අවදානම් කාර්යයන්වල නිරත වෙනවා. මෙසේ අවදානම් රාජකාරිවල නිරත වන පිරිස, සිය රාජකාරි කාලසීමාව තුළ දී ජීවිතක්ෂයට පත් වූ අවස්ථා බොහෝමයක් තිබෙනවා. එසේ රාජකාරිය අතරතුර එමගින් අනතුරට ලක්වී ජීවිත අහිමි වන සේවක පවුල්වල දරුවකුට සුදුසුකම් මත ලංවිම රැකියා අවස්ථාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2015 ජනවාරි මස සිට ලංවිම සේවයේ යෙදී සිටිය දී රාජකාරි සම්බන්ධයෙන් එවැනි අභාග්‍යසම්පන්න මරණවලට ලක්වූ අය සිටී නම්, ඒ පිළිබඳ සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙක් වෙනුවෙන් රැකියා අවස්ථාවක් ලබාදෙන ලෙස මම ලංවිම පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා’

‘අද විදුලිබල මණ්ඩලයේ ස්ථිර සහ අනියම් වශයෙන් සේවකයන් තිස්එක් දහසක් පමණ සිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවන් සඳහා පුදුමාකාර ඉල්ලුමක් තිබෙන්නේ. එක ආයතනයකට මෙවන් ඉල්ලුමක් තිබෙනවා මම මීට පෙර දැකලා නැහැ. පිටස්තර ලෝකයාගේ අන්න ඒ වගේ යහපත් ආකල්පයක්, දැඩි විශ්වාසයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය ගැන තිබෙන්නේ. එවන් වූ ආයතනයක් වසර 50ක් සපුරන මේ අවස්ථාවේ, එහි වසර 30කට අධික කාලයක් සිය ශ්‍රමය කාලය කැප කරමින් කළ සේවයට උපහාරයක් වශයෙන් පිය පුතු පදනම යටතේ තමන්ගේ දරුවකුට සුදුසුකම් මත මේ ආයතනයේ රැකියා අවස්ථාවක් ලබාදීම තමයි අද මේ සිදුකරන්නේ. මේ පිය පුතු පදනම මත රැකියා ලබාදීම මේ දක්වා 10%ක ප්‍රමාණයක් තමයි තිබුණේ. මේ ප්‍රමාණය මම 12.5% දක්වා වැඩි කරනවා.

මට පෙනෙන ආකාරයට 1969 ආරම්භ කළ ලංකා විදුලිබල මණ්ඩලය, එදා සිට අද වනතෙක් හිතන ආකාරයේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. එදා ආරම්භ කළ වැඩපිළිවෙළම අද ගෙනියනවා. කිසිම නවීකරණයක් සිදුවෙලා නැහැ. කොහොමද ආයතනයක් මේ විදියට ඉදිරියට යන්නේ. මේ දේවල් වෙනස් කළ යුතුයි. හොඳම උදාහරණය තමයි අපි නිවාසවලට අලුතින් විදුලි සබඳතා ඉල්ලුම් කළාම, ඒ ගැන සොයා බලලා, ඒක ලබාදෙන්න මාසයක් විතර යනවා. ඒ වගේම මාසයක් ගානේ අපේ මනු කියවන්නෝ ගෙවල් ගානේ ගිහින් මීටරය කියවගෙන එනවා බිල සකස් කරන්න. නමුත් මේ දේ ගෙවල් ගානේ නොගිහින් සුහුරු මනු මගින් කාර්යාල තුළ ඉදලම කරන්න දැන් නවීන ක්‍රම තිබෙනවා. එවැනි දේවල් ගැන සොයා බලා අපි වෙනස්කම් ඇති කළ යුතුයි. තවමත් අපි ගල් යුගයේ ජීවත් වෙනවාද නැතිනම් ඉදිරියට යනවාද කියලා දැන් තීරණය කළ යුතුයි. අපි වෙනස් වන ලෝකයත් සමඟ ඉදිරියට යන්න නම්, ඒ ආකාරයෙන් අපිත් වෙනස් විය යුතුයි.

අපේ වැය ශීර්ෂය අවස්ථාවේදී කාටවත් දොස් කියන්නේ නැතිව, ඉතිහාසයේ සියලුම පව් මගේ කරපිටට අරගෙන මම කිවුවා වුණ දේ වුණා, මින් පස්සේ එන විදුලිබල ඇමැතිවරයකුට කිසිම ගැටලුවක් මතු නොවන විදියට අඩිතාලමක් තියනවා කියලා. වැරැද්ද වෙන කෙනකුට පවරන එක හරිම ලේසියි. ඒ විදියට ගියාම වසර ගණනාවක් තිස්සේ හිටිය සියලු දෙනාටම වැරැද්ද පැටවෙනවා. නමුත් මින් පසු ඒ විදියට කිසිම කෙනෙක් වගනොකියන විදියට වැඩ කරන එක මගෙත් ඔබගේත් වගකීමක් මෙන්ම යුතුකමක්. ඒ අභියෝගය අපි භාර ගන්නවා. මේක තමයි නවීකරණය. ඒ අනුව වැඩ කරලා තමයි අපි විදුලි කප්පාදුව නැවැත්තුවේ. ඒ නැවැත්වීම කෘතීමව කරන්න බැහැ. විදුලි ඉල්ලුම කොපමණද, කාර්යබහුල වේලාවන් මොනවාද, ඒ වේලාවන්වල ඉල්ලුම කොපමණ ද, කාර්යබහුල වේලාවන්වල සැපයුම ලබාදෙන්නේ කොහොමද කියලා අපි සොයා බැලිය යුතුයි. විනිවිදභාවයෙන් ගමන් කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. සෑම ඒකකයකින්ම යම් මුදලක් අඩුවනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට බිලියනයක් පමණ ඉතිරි කිරීමක්. අපි සිතිය යුත්තේ දේශපාලනඥයන් වශයෙන් නොවෙයි, රාජ්‍යතාන්ත්‍රිකයන් වශයෙනුයි. දේශපාලනඥයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. එයාලා හිතන්නේ එන ඡන්දය ගැන පමණයි. නමුත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් හිතන්නේ එන වසර 20 ගැන. අන්න ඒ ආකාරයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිතිය යුතු කාලය දැන් එළඹිලා.

විදුලිබල මණ්ඩලයේ පැවැත්ම තිබෙන්නේ ලක්ෂ 67ක් වන පාරිභෝගික ජනතාව නිසයි. ඒ අය විදුලි බිලක් ගෙවුවේ නැත්නම් ලංවිමට ඉදිරියට යෑමක් නැහැ. මේ වනවිට යාපනය ප්‍රදේශයේ පැය 24ක් ඇතුළත ගෘහස්ත විදුලි ඉල්ලුමක් සපුරාලනවා. මේ ක්‍රමය සමස්ත දිවයින පුරාම ව්‍යාප්ත කරන්න ඇයි බැරි. කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි ඉල්ලුමක් ලබාදෙන්න ලංවිමට මේ වන විට මාස ගණනාවක් ගත වෙනවා. මේ ක්‍රමය වෙනස් කරලා, නව විදුලි ඉල්ලුම් හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කළ යුතුයි’ යැයි පැවැසීය.

නව අදහස දක්වන්න