මුස්ලිම්-දෙමළ නායකයන් කළ මෙහෙය අද බොහෝ දෙනකුට අමතක වෙලා | දිනමිණ

මුස්ලිම්-දෙමළ නායකයන් කළ මෙහෙය අද බොහෝ දෙනකුට අමතක වෙලා

වසර 1948 දී මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගෙන නිදහස ලබාගැනීමේ අරගලයේ දී සිංහල බෞද්ධ නායකයන් සමඟ එක් වී මුස්ලිම්, දමිළ නායකයන්ද විශේෂ කාර්යක් ඉටු කර තිබෙන බව ද එය අද බොහෝ දෙනකුට අමතක වී ඇති බව ද කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ සහිරා ජාතික විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර දොළහක් සේවය කිරීමෙන් අනතුරුව මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූ එම්. ජේ. එම්. ඉක්බාල් මහතාට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය. මෙය ඉකුත් දින ග්‍රේන් සිටි උත්සව ශාලාවේ දී පැවැත්විණි. එම විද්‍යාලයේ සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව මේ උපහාර උළෙල සංවිධාන කර තිබිණි. එහි දී වැඩි දුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා,

වසර 1948 දී මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගෙන රටට නිදහස ලබාදීමේ අරගලයේ දී සිංහල බෞද්ධ නායකයන් සමඟ එක්වී මේ රටේ මුස්ලිම් දමිළ නායකයන් ද විශේෂ කාර්යක් ඉටු කර තිබෙනවා. ඒ උතුම් වූ ඉතිහාසයත් අද සමහරුන්ට අමතක වෙලා. 2015 ජනවාරි මස ඒකාධිපති පාලනයෙන් මේ රට මුදා ගෙන රට තුළ වෙනසක් ඇති කිරීමට සිංහල දමිළ මුස්ලිම් ජනතාව කළ උතුම් ක්‍රියාව වසර හතරක් වැනි සුළු කාලයක් තුළ අමතක වෙනවා නම් 1948 දී සිදු වූ නිදහස් අරගලය ගැන අමතකවීම පුදුමයක් නොවන බව ද පෙන්වා දුන්නේය.

අද මා‍තලේ නගරය කඩිනම් සංවර්ධනයක් කරා ගමන් කරනවා. මාතලේ නගරයේ පමණක් නොව මුළු මාතලේ දිස්ත්‍රික්කයේම සංවර්ධන කටයුතු රාශියක් සිදුවෙමින් පවතිනවා. මාතලේ ගොංගාවෙල බස් නැවතුම්පොළ විශාල මුදල් ප්‍රමාණයකින් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ කටයුතු ඉතා ලහි ලහියෙන් සිදු වෙමින් පවතිනවා. මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී ක්‍රීඩාංගණය, මාතලේ රිඩ්වර්ඩ් හොකී ක්‍රීඩාංගණ නවීකරණය කරමින් හොකී ක්‍රීඩාව වඩාත් ඉහළ තත්ත්වයට ගෙනයෑම සඳහා පාසල් මට්ටමින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මේ අවස්ථාවට මාතලේ පුරපති ඩල්ජින් අලුවිහාරේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. එම්. එම්. ඉබ්‍රාහිම්, මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම්. අස්රෆ් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

උ‍කුවෙල විශේෂ
එම්. එස්. එම්. මසාහිම්


නව අදහස දක්වන්න