කන්දකුළිය ගල් මල් අභය භූමියට යළි ජීවය | දිනමිණ

කන්දකුළිය ගල් මල් අභය භූමියට යළි ජීවය

2012 වසරේ දී එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය, ශ්‍රී ලංකාවේ විශාලතම වැලි පර සමුද්‍ර අභය භූමිය වූ, කන්දකුළිය ගල් මල් සමුදුරු අභය භූමිය යළි ජීවය ලබමින් සිටින බව වාර්තා වේ.

වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරීන් කල්පිටිය නාවුක හමුදාවේ ද සහාය ඇතිව, මියගිය පරය මත, කොන්ක්‍රිට් ඇසුරුම් රදවා, ඒ මත නව කොරල් ජීවින් රෝපණ කිරීම අාරම්භ කර ඇත. පරිසර හිතකාමීන්ගේ හදවත් තුළ නව පැතුම් ජනිත කරවමින්, මෙම වෑයම අද වන විට ඵල දරා ඇතැයි වනජීවී දෙපාර්තුමේන්තුවේ, කල්පිටිය අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.

“අත් හදා බැලීමක් වශයෙන්, අපි මන්නාරමින් සජීවී කොරල් ජීවීන් සුරක්ෂිතව ගෙනාවා. කෝම්පිට්ටු වගේ කොන්ක්‍රීට් ඇසුරුම් හදලා, ඒවා මියගිය පරය මත අලවලා, ඒ මත මෙම නව ජීවීන් රෝපණය කළා.“

“මාස කිහිපයකට ඉහත ඉතා නිහඬව, ඇරඹූ මෙම ව්‍යාපෘතිය අද සාර්ථක වෙමින් පවතිනවා. එම රෝපණය කළ නව ජීවින් අද වැඩෙමින් නව ජීවින් ද බිහිකරනවා. මෙම ක්‍රියාවෙන් ලද උත්තේජනයක් වශයෙන්, මැරුණු පරය මතත් යළි නව ජීවින් බිහිවෙමින් සිටිනවා. මත්ස්‍ය ප්‍රජාව ද මේ නව කොරල් ජීවින් එක්ක, සම්බන්ධතා පටන් අරන්.“

මෙම වැලිපර සමුදුරු අභය භූමිය, 1992 වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ, අංක 708 / 24 / 1992 දරන ගැසට් නිවේදනය මගින්, සමුදුරු අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත.

කල්පිටිය අර්ධද්වීපයේ, උච්චිමුණේ දූපතට බටහිරින් වෙරළේ සිට කිලෝමීටර දෙකක් දුරින්, මෙම අභය භූමිය පිහිටියේ ය. වර්ග කිලෝමීටර් 307ක, භූමි භාගයක් පුරා පැතිරුණු මෙම අභය භූමිය තුළ, කොරල් විශේෂ 136 ක් ද, මත්ස්‍ය විශේෂ 400 ක් ද, විය. එසේම ඉස්සන්, පොකිරිස්සන්, ගල් මාළු විශේෂ සිය අභිජනනය සඳහා ද මෙම අභය භූමිය භාවිත කර ඇත. ජෛව විවිධත්වයෙන් අනූන, මෙම පරය, එවකට ජලජ ජීවීන් සඳහා පරීක්ෂණ පැවැත්වීමට සුදුසු පරීක්ෂණාගාරයක් ද විය. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ ද දිනා ගනිමින්, රටට විදේශ විනිමයත්, තවත් බොහෝ දෙනකුට ජීවන මාර්ගත් සපයා ඇත.

ඒසා අති විශාල වටිනාකමකින් යුතු යළි ජීවය ලබන වැලි පරය රැක ගැනීම පිණිස මේ වන විට පියවර රැසක් ගෙන ඇති බැව්, අඩවි නිළධාරි මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.

“දැනට යළි රෝපණය වෙමින් පවතින ප්‍රදේශයන් අපි ආරක්ෂිත කලාප ලෙස, බෝයාවන් දමා ලකුණු කර තිබෙනවා. මේවා ඉතා සංවේදී කලාප ලෙස නම් කොට, සංචාරක ප්‍රවේශයන් සහ ධීවර කටයුතු මුළුමණින්ම තහනම් කොට තිබෙනවා. වර්ග කිලෝමීටර 16 බැගින් වන කලාප දෙකක් මෙසේ වෙන්කර තිබෙනවා. වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය නිලධාරීන් මේ පිළිබඳව අධීක්ෂණයක් ද කරනවා.“

වනජීවී දෙපාර්තුමේන්තුවේ අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න, ක්ෂේත්‍ර සහායකවරුන් වන, සුජිත් ප්‍රසාද්, නාරද කළුආරච්චි, වන සත්ත්ව නියාමක රුවන් වෙත්තසිංහ, ස්වේච්ඡා මාර්ග උපදේෂක ශාන්ත සඳරුවන් යන නිලධාරීහු කල්පිටිය නාවුක හමුදා සහාය සමඟින් මේ සද්ක්‍රියාවේ නිරතව සිටිති.

කල්පිටිය සමූහ


නව අදහස දක්වන්න