සූර්ය මංගල්‍යයේ යථාර්ථය-සංහිඳියාව | දිනමිණ

සූර්ය මංගල්‍යයේ යථාර්ථය-සංහිඳියාව

ශ්‍රී ලංකාවේ සිංහල - දමිළ ජනයාට, පරණ අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් උදාවීම, සාමය සතුට සැනසීම සෞභාග්‍ය ගෙන දෙන, අසිරිමත් අවස්ථාව මහත් හරසරින් සමරයි. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවක් එකම වේලාවකදී එකම කාර්යන්ට එළබෙන සුබ මුහුර්තියක් ලොව කිසිම ජාතියකට සතු බව අසා නැත. සිංහල - දමිළ දෙපිරිසම එක්ව පවත්වන්නාවු මේ ජාතික මංගල්‍ය බෙදී වෙන්ව ගිය ජාතියක සිත් එක්තැන්කොට සියලු ජාතීන් අතර සාමය සහජීවනය තුළින් සංහිඳියාව ඇති වී, යළි බලගතු ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට ඉවහල්වන අවස්ථාවක්කර ගැනීමට කදිම අවස්ථාවකි. වසරක් ගෙවුනු තැන යළි නව වසරක් උදාවීමට නියමිත බැවින් ගෙවු වසරේ බිදීගිය සිත් යළි නව මානයකින් එක්කිරීමට හැකියාව ඇති අවස්ථවකි.

ගෙවු කාලය තුළ ජාති, ආගම්, භාෂාව අනුව බෙදී විරසකව හුන් ජනතාවක් අත්කරගත් දෙයක් නැත. ලෝකයේ අසල්වැසි සෙසු රටවල් ලෝකයේ ශක්තිමත්ව ගොඩ නැගෙද්දී අපි පටු ජාතිකත්ව ආකල්ප මත ගහ මරා ගමින් අත්කර ගත් දෙයක් නම් නැත. ශ්‍රීලාංකිකයන් වශයෙන් බලගතු ජාතියක් වශයෙන් නැගී සිටීමට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගිය යුතු අවධියකට අපි එළඹ ඇත.

පශ්චාත් යුද වකවානුවේ ගෙවුනු මෙන්ම එළඹුන අවුරුදු ඊට එළඹුමක් ඇතිකරගත්තා ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත. ශ්‍රී ලාංකික ජාතීන්ගේ මේ මහා සංස්කෘතික මංගල්‍යට අවැසි ස්ථානය ලබාදීමට මෙරට සියලු ජාතීන් කටයුතු කළ බවක් දක්නට නැත. මෙරට රූපවාහිනී නාලිකාවලට අවශ්‍ය පරිදි අවුරුදු සිරිත් - විරිත් , චාරිත්‍ර - වාරිත්‍ර ගොඩ නැගෙමින් පවතින බව පෙනේ. ශ්‍රී ලංකික ජාතියක් වශයෙන් ගොඩනැගීමට තිබෙන මේ මහඟු අවස්ථාව හුදෙක් ජාතීන් වශයෙන් සහ දේශපාලන වශයෙන් හුදෙකලා ගමනක් යෑමට මේ අවුරුදු සුබ මුහුර්තිය පත්කර ගැනීමට උත්සාහයක් ගෙන ඇති බව පෙනේ.

මෙරට වසර ගණනාවක් ඇදී ගිය සිවිල් යුද්ධ සමයේ ජාතීන් අතර හිංසනය අන්‍යෝන්‍ය වෛරය සහ අවිශ්වාසය විසින් ගොනැගුණු දීර්ඝස්ථ සිවිල් යුද සමයක දී බිඳ වැටුනු සමාජ සම්බන්ධතා යළි ගොඩනැගීම සඳහා සංහිඳියාව වැදගත් වෙයි. එකී සංහිඳියාව තුළින් ශ්‍රී ලංකාව යළි ගොනැගීම යන ඉලක්කය තේරුම් ගැනීමටත්, සංයුක්තව ග්‍රහණය කරගැනීමටත් අධාර වන ප්‍රතිපත්ති සඳහා උපකාර වන්නාවූ පුළුල් සංකල්මය රාමුවක් වගකිව යුතු ආයතන සියලු දෙනාගේම සහයෙන් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා වගකිවයුතු ආයතන සිංහල- හින්දු අවුරුද්ද හෝ යොදාගැනීම වැදගත් වෙයි. එහි අරමුණ යුද්ධයෙන් සහ හිංසනයෙන් වියුක්ත කොන්දේසි යටතේ සුපුෂ්පිත වන නව දේශයකි.

ගැටුම් සහ හිංසන පුද්ගලයා තුළ නිර්මාණය වී, එය සමාජයක්කරා මතවාදීව ව්‍යාප්තවී අර්බුදයක් නිර්මාණය වෙයි. එකී පුද්ගලයා තුළින් වෛරය සහ අවශ්වාසය දුරස්ථ වී සාධනීය ආකල්ප නිර්මාණය වී වාර්ගික ප්‍රජාව අතර යහපත් සබඳතා ගොඩනැගීම මඟින් යහපත් සමාජ පද්ධතියක් තුළ ඔවුන්ට නව එකමුතු ජාතියක් පිළිබඳව සාමුහික පරිකල්පනයක් සහ නව දේශපාලන දැක්මකට අවකාශය සැලසීම සහ යුද්ධයේ හිංසනයේ සහ විනාශයේ ගොදුරු බවට පත්වූවන්ගේ අපේක්ෂා භංගත්වයෙන් පිරි හුදෙකලා ලෝකය වෙනුවට දයාව, අනුකම්පාව, සාමය සපිරි නිවහල් ජාතියක් වශයෙන් ගොඩනැගීමට අවැසි ශක්තිමත් පදනම සැකසීම සියලු දේශපාලන නායකයන්ගේ වගකීමක් කොට ගත යුතුය.

යතෝක්ත කාරණා වෙනුවෙන් යම් වේදීකාවක් පවතින ආණ්ඩුව මඟින් පාදා ඇතත්, ඊට සුදුසු වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව ඇත. අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර ඊට සවිමත් අත්තිවාරමකි. වාර්ගික කණ්ඩායම් ද, බහුවිද දේශපාලන ප්‍රජාවන්ගේ දායකත්වයෙන්, බහුවිධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය නව පදනමක් සේ සලකා නිදහස් සමාන ජාතීන් හා ජාතිකත්ව එකමුතුවක් ලෙස රාජ්‍යය නැවත ගොඩනැගීමට අවුරුදු උදාව පිටිබලයක් දෙයි.

උක්ත තේමාව යටතේ සංහිඳියාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ගොනැගීම අපහසු නැත. යුද්ධය අනභිමුඛ වන සමයක සිට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන දීර්ඝ කාලීන නැවත ගොඩනැගීමක් කරා වූ ශ්‍රී ලංකාවේ දෘෂ්ඨිමය ප්‍රගමනය මහත් උනන්දුවකින් වැළඳගැනීමට තරම් නව රජය සමත්විය. සාමය ගොඩනැගීම, සංහිඳියාව සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ආදී වූ දේශපාලන න්‍යාය පත්‍රය පසුගිය වසර 4 න් ඉක්බිතිව, එකී ක්‍රියාදාමයට අනපේක්ෂිත දුෂ්කරතා සහිත අවධියකට එළඹ ඇත. එහි වැඩිබරක් විපක්ෂය ද, සිංහල - දමළ ජාතිවාදීන්ද උරදෙමින් සිටින බව පෙනෙයි.

සාමය හා සංහිඳියාවේ ස්ථිරසාර වැඩපිළිවෙළකට සමාජීය අර්ථයක් එක්කරලීමට අවුරුදු උදාව වැදගත් වෙයි. මේ කාලයේ දී මිනිසුන් සියලු වැඩපළ අත්හැර ආගමික කටයුතුවල නිරතවේ. අවුරුදු වෙලාවේදී ගෙවී යන පරණ අවුරුද්දට කෘකඥ පූර්වකව සමුදීමත් එලැඹෙන නව වසර හරසරින් පිළිගැනීමත් සිදුවේ. සිංහල - දමිළ ජනතාව අතර චාරිත්‍ර-වාරිත්‍ර අතර යම් වෙනස්කම් ඇතත් එකම අරමුණක් වෙනුවෙන් මේ කටයුතුවල නිරත වන බව පෙනේ. මෙවැනි සමානකම් සහිත ජාතියක් තවදුරටත් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් තවදුරටත් පසුගාමීත්වයක් උරුම කරගැනීමකි. එබැවින් ගෙවුනු කාලයේ ජාතීන් අතර නුරුස්නාවක් ඇතිකිරීමට පදනම් වූ කාරණාවන්හි ප්‍රබලතා - දුබලතා හඳුනාගෙන නව ප්‍රාරම්භයකින් යුක්තව සැබෑ සාමයක් සංහිඳියාවක් පිණිස සවිමත් වෙදිකාවක් වශයෙන් අලුත් අවුරුදු උදාව යොදා ගැනීමට මහන්සි විය යුතුය.

චන්දන එදිරිමාන්න


නව අදහස දක්වන්න