විශේෂ මණ්ඩපයක ‘සිවුරුගල’ තැන්පත් කරයි | දිනමිණ

විශේෂ මණ්ඩපයක ‘සිවුරුගල’ තැන්පත් කරයි

බුදු රජාණන්වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී ශ්‍රී බුද්ධ චීවරය පිරිසුදු කර ගැනීමට භාවිත කළ ‘සිවුරු ගල‘ලෝක වාසී ජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා කැලණි රජ මහා විහාරස්ථාන භූමියේ කැලණි ගං ඉවුරේ විශේෂ මණ්ඩපයක තැන්පත් කර එය ආවරණය වන පරිදි චෛත්‍ය ශෛලමය ආකෘතියක් ස්ථාපිත කිරීමේ කටයුතු ඉකුත් 17 දා සිදු කෙරිණි.

එසේ ඉදි කෙරෙන චෛත්‍ය රාජයාණන්ගේ ගර්භයේ ධාතු තැන්පත් කිරීමේ කටයුතු එදින බස්නාහිර පළාත් ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදු විය.

කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුසාසනා පරිදි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත් මූල්‍ය ප්‍රතිපාදන යොදා සිවුරු ගල තැන්පත් කර එය ආවරණය වන පරිදි ඒ මත මෙසේ චෛත්‍යක ශෛලමය ආකෘතිය ඉදිකරවා ඇත.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් , බස්නාහිර පළාත් ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනක කොලොන්නගේ මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

බුදු රජාණන් වහන්සේ කැලණිය රජමහා විහාරස්ථානයට වැඩම කර මේ වෙසක් පොහෝ දිනට වසර 2600 ක් ගතවන බැවින් එය නිමිතිකර වෙසක් කළාපයක් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර එදිනට සිවුරුගල තැන්පත් කරන ලද විශේෂ මණ්ඩපය බෞද්ධ ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ ශ්‍රී බුද්ධ චීවරය පිරිසුදු කරගැනීමට භාවිත කරන ලද කළු ගල සිවුරු ගල නමින් හදුන්වනු ලබයි.


නව අදහස දක්වන්න