සරසවියේදී ලබාගත් දැනුම රටට සේවය කිරීමට යොදවන්න | දිනමිණ

සරසවියේදී ලබාගත් දැනුම රටට සේවය කිරීමට යොදවන්න

විශ්වවිද්‍යාලයේදී ලබාගත් දැනුමෙන් බුද්ධියෙන් උපාධියෙන් තමන්ගේ ජීවිත සාර්ථක කර ගන්නා ‍ගමන්ම වෘත්තීය ක්ෂේත්‍රයේදී සමාජය හා රට වෙනුවෙන් උපරිම සේවයක් සැලසීමට අධිෂ්ඨාන කර ගත යුතු යැයි' ආරාධිතයා ලෙස එක්වූ ජාතික උපදේශක හා දැනුම් කළමනාකරණ අංශයේ ආචාර්ය නවාෂ් ජෙෆ්රි මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කැලණිය විශ්වවිද්‍යාලයේ 106 වෙනි උපාධි ප්‍රදානෝත්සවයේදීය.

මේ උපාධි ප්‍රදානෝත්සව පළමු සැසිවාරයේදී මානව ශාස්ත්‍ර අංශයේ කලා විශේෂ ගෞරව උපාධිධාරීන් 209 දෙනෙකුටද, කලා සම්මාන ශාස්ත්‍රවේදී උපාධිධාරීන් 8 දෙනෙකුටද, සමාජීය විද්‍යා පීඨ කලා ශාස්ත්‍රවේදී උපාධිධාරීන් 66 දෙනෙකුටද කලා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරීන් 112 දෙනෙකුටද කලා ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිධාරීන් 112 දෙනෙකුටද උපාධි පිරිනැමූහ.

දෙවන සැසිවාරයේදී සමාජීය විද්‍යා අංශයේ කලා ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරීන් 529 දෙනෙකුටද උපාධි පිරිනැමීම සිදු කෙරිණි.

දෙවෙනි සැසිවාරයේදී විශේෂ දේශනය ජාතික අධ්‍යාපන කොමිෂමේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්. අයි. සිරිවීර මහතා විසින් පැවැත්වීය. මේ උපාධි ප්‍රදානෝත්වයට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය මහෝපාධ්‍ය පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපකුලපති මහාචාර්ය ඩී.එම්. හේමසිංහ, නියෝජ්‍ය උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලේඛකාධිකාරී ඩබ්ලිව්. එම්. කරුණාරත්න, සියලුම පීඨාධිපතිවරු, අංශ ප්‍රධානීන්, මහාචාර්යවරුන්, ආචාර්ය හා කථිකාචාර්යවරුන්ද සහභාගි වී සිටියහ. උපාධි පිරිනැමීමට කුලපති මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අතින් සිදු කෙරුණි.

ඡායාරූප - උඩුගම්පොළ සමූහ

 


නව අදහස දක්වන්න