බක් පෝ දිනය අදයි | දිනමිණ

බක් පෝ දිනය අදයි

රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර හිමි

'ගබ්භමේකේ උප්පජ්ජන්ති
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසවා'

පින්වතුනි,

අද බක් පුර පසළොස්වක පෝය දිනයයි. මෙදින බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් බවට පත්වන්නේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදු වූ බැවිණි. එනම් මහාභිනිෂ්ක්‍රමණය කරන සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිතිවලින් පළමුවැන්න වූ මහලු රූපය දකින්නේ අද වැනි දිනකය.

බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහ රජතුමා ඇතුළු ඥාතීන් සම්මුඛයට වැඩම කොට ඔවුන්ට ධර්ම මාර්ගය පෙන්වා දෙන්න කටයුතු කරන්නෙත් අද වගේ පුර පෝය දවසකයි.

පින්වතුනි,

ලක්වැසියන් හැටියට අපිටත් ඉතා වැදගත් පෝය දවසක් තමයි බක් පෝය කියන්නේ. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ නිසායි. බුද්ධත්වයෙන් වසර පහක් ගෙවෙන තැන තමයි මේ වැඩම වීම සිදු වුණේ. මෙම ඓතිහාසික ගමනේ නිමිත්ත තමයි මිණිපළඟක් (මැණික් පුටුවක්) වෙනුවෙන් යුද වදින්න සූදානම් වුණ චූලෝදර සහ මහෝදර කියන නා රජවරු දෙදෙනාගේ විනාශකාරී සටන නතර කරන එක. ඒ වගේම තෙවන වර ලංකාගමනයට ආරාධනා ලැබෙන්නෙත් එදිනමය.

මෙවන් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වූ අද වැනි පුණ්‍යවන්ත දිනක තමයි ඔබ පන්සලට සපැමිණ අෂ්ඨාංග හෝ දස උපෝසථ ශීලය සමාදන් වෙලා කටයුතු කරන්නේ. එහෙමත් නැතිනම් නිවසට වෙලා රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් බණ අහන්නේ. නැතිනම් මේ වගේ ධර්මයට ඉඩක් වෙන් කරන මුද්‍රිත මාධ්‍යයකින් බණ පදයක් කියවන්නේ. එසේ වූ ඔබට බණ පදයක් තෝරා දෙන්නයි මේ උත්සාහය.

පින්වතුනි, ඉහතින් දැක් වු ගාථාව අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් අපට ඉතා වැදගත් සිහි කැඳවීමක් කරනවා. ඒ තමයි අපි අපේ ජීවිතයේ දී සිත, කය හා වචනයෙන් සිදුකරන කුසල් අකුසල්, පින් පව්, හොඳ නරක අනුව අපට සසරදී යන්න වෙන තැන් මතක් කර දෙන එක. ඒ ගාථාවේ තේරුම තමයි පින්වතුනි,

'සමහර සත්ත්වයෝ මව්කුස උපදිනවා. පව්කම් කරපු අය නරකයෙහි උපදිනවා. සුන්දරගති ඇති පින් කරන අය ස්වර්ගයට (සුගතියට) යනවා. කාමාදී ආශ්‍රව (කෙලෙස්) නැති රහත් උත්තමයෝ පිරිනිවනට වඩිනවා'

මේ ගාථාව අනුව සමහර සත්ත්වයෝ මව්කුසට යනවා. එහිදී අපි කවුරුත් උත්සාහ කරන්න ඕනේ නිවන් දකින තුරු යහපත් මනුස්ස මව්කුසකටම යන්නයි. එසේම අපි නරකයට යාමට හේතුවෙන ක්‍රියා කිසිසේත්ම නොකළ යුතුයි. මන්ද අපි කවුරුත් දුක් විඳින්න කැමති නැහැ. එසේම සුගතියට හේතුවෙන ක්‍රියාවන්හි නිරත විය යුතුයි. සුගතියට යෑමෙන් තමයි සසර සැපවත් වෙ න්නේ. පින්වතුනි මේ සියල්ලට වඩා අපි උත්සහ කරන්න ඕනේ සකල ක්ලේශයන් නැසීමට හේතුවන ක්‍රියාවන්වල නිරත වෙන්නයි. සසරින් එතෙර වෙන්නයි. සසරින් එතෙර වෙනවා කියන්නේ නැවත උපතක් නැහැ කියන එකයි. ඒ කියන්නේ අපි සසර දිනුවා වෙනවා.

උදා වූ අලුත් අවුරුද්ද මෙලොව දිනන අවුරුද්දක් වෙත්වා. පරලොව දිනන අවුරුද්දක් වෙත්වා. සසර දිනන අවුරුද්දක් වෙත්වා...

බුදු හිමි සරණය කර ගනිමි
ධර්මය සරණය කර ගනිමි
මහසඟ සරණය කර ගනිමි
යළි යළි සරණය කර ගනිමි

රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර හිමි
වීරහේන විද්‍යාරත්න මහ පිරිවෙන
නාත්තණ්ඩිය

නව අදහස දක්වන්න