ශ්‍රී ලංකාව ජාතික අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන ප්‍රතිපත්ති හා නව වැඩසටහන් යුනෙස්කෝ සංවිධානයේ පැසසුමට ලක් වී ඇත. මේ බව හෙළිදරව් වන්නේ යුනෙස්කෝවේ දෙසිය හයවන විධායක මණ්ඩල රැස්වීමේ දී ය. මේ සභාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගි විය. ශ්‍රී ලංකා රජය ස්වකීය දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා ගෙන යන වැඩසටහන් ද යුනෙස්කෝවේ ඇගයුමට ලක් වී තිබේ. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ රජය රටේ අනාගතය වෙනුවෙන් සාධනීය සැලැසුම් ක්‍රියාත්මක කරන බව ය. අධ්‍යාපනය ඒ අතින් ප්රමුඛ වෙයි. අනාගතයේ දිනයක අපේ අධ්‍යාපනයෙන් ආදර්ශ ලබාගන්නට ලෝකයේ සෙසු රටවල් පෙලඹෙනු ඇතැ’යි සිතන්නට පුළුවන.
රටක අනාගතය සම්බන්ධයෙන් සැලසුම් නිර්මාණය කරන ඕනෑම රාජ්‍යයක් පළමුව සිය අවධානය යොමුකළ යුත්තේ අධ්‍යාපනය කෙරෙහි ය. අධ්‍යාපනය රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට සලකනු ලැබේ. රටකට අවශ්‍ය වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් හා දාර්ශනිකයන් බිහි කරන්නේ අධ්‍යාපනය ඔස්සේ ය. ලෝකයේ දියුණු රටවල් මීට බොහෝ කලකට පෙර ඒ බව වටහාගෙන ක්‍රියාත්මක වී තිබේ. අමෙරිකාව, චීනය, ජපානය පමණක් නොව; දකුණු කොරියාව හා මැලේසියාව වැනි රටවල් වුව ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි ය. 16 වන සියවසේ සිට ම අපේ අධ්‍යාපනය සීමා වූයේ ශාස්ත්‍රඥයන් බිහිකිරීමට පමණි. වත්මන් ආණ්ඩුව එය වෙනස් කර තිබේ.
අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ ප්‍රධාන ගැටලු දෙකක් පැවැතිණි. පළමුවන්න අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර ඍජු සම්බන්ධයක් නොපැවතීම ය. දෙවන්න ලෝක ආර්ථිකය සමඟ ගනුදෙනු කළ හැකි වෘත්තිකයන් අධ්‍යාපනය ඔස්සේ බිහි නොවීම ය. මේ පසුබිම තුළ උපාධිධාරීන්ට පවා රැකියා අහිමි විය. අනෙක් පැත්තෙන් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ නව කර්මාන්ත ඇති කිරීමට අකැමැති විය. වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවට නව ආයෝජන අවශ්‍ය වෙයි. එලෙස ම ලෝක ආර්ථික ක්‍රියාවලිය සමඟ ගනුදෙනු කළ හැකි වෘත්තිකයන් ද අවශ්‍ය වෙයි. ඉන්දියාව ස්වකීය ජාතික අධ්‍යාපනය ඔස්සේ ඉහත ගැටලු දෙකට ම විසැඳුම් සපයාගෙන තිබේ.
නිදහස් මතධාරීන්ගේ අදහසට අනුව අපේ අධ්‍යාපනය තුළ පැවැතියේ දරුවන් විශාල ප්‍රමාණයක් අතරමංකොට සුළු පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන රටාවකි. උපාධිය ලබාගන්නා අය පවා රැකියා වෙළෙඳ පොළ ජයගන්නා පිරිසක් නොවූ හ. අ.පො.ස. සා/පෙ විභාගයෙන් හා අ.පො.ස. උ/පෙ. විභාගයෙන් අසමත් වන දරුවන් ගැන කිසිදු වග-විභාගයක් නොතිබිණි. ඔව්හු අතහැර දැමූ පිරිසක ලෙස කල් යැවූහ. වෘත්තීය අධ්‍යාපනය ගැන ප්‍රමාණවත් සැලැකිල්ලක් අපට තිබුණේ නැත. එහෙත් ජර්මනිය වැනි රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලැබෙන අයුරින් ය.
එකිනෙක දරුවන්ගේ සහජ කුසලතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දියුණු කර ගත යුතුය යන්න පිළිගත් මතයකි. ඒ අනුව සියලු දෙනා වෛද්‍යවරුන් විය යුතු නැත. සියලු දෙනා ඉංජිනේරුවන් විය යුතු ද නැත. කාර්මික ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, නාවිකයන්, සංගීතඥයන්, සමාජ විශ්ලේෂකයන් ආදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිපුණයන් රටකට අවශ්‍ය වේ. අලුත් අධ්‍යාපන සැලැසුමට අනුව කිසිදු විභාගයකින් දරුවන් අතරමං වන්නේ නැත. ගණිතය සමත් වුව; අසමත් වුව උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත හැකි විෂය මාලා දැන් පවතී. පාසල් අධ්‍යාපනය සඳහා නව විෂයයන් විසිහයක් හඳුන්වා දී ඇති අතර ඒවා ඉගැන්වීම සඳහා අලුත් ගුරුවරුන් බඳවාගෙන තිබේ.
ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශ රැකියාවල නියුක්ත වීම ය. ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් විවිධ රටවල සේවයෙහි නියුක්ත වෙති. මෙයින් වැඩි පිරිස නුපුහුණු කම්කරුවන් හා ගෘහ සේවිකාවන් බව හඳුනාගත හැකි ය. වෘත්තිකයන් ලෙස සේවයෙහි යෙදෙන්නෝ සුළු පිරිසක් වෙති. විදේශ ගෘහ සේවයෙහි පවත්නා ගැටලුකාරී ස්වභාවය දෙස බලන විට එය තෘප්තිමත් ඉපැයීමක් වන්නේ නැත. දක්ෂතා සහිත වෘත්තිකයන් විදේශ සේවය සඳහා යොදාගත හැකි නම්; එය සෑම අතකින් ම සහනයක් වනු ඇත. නව අධ්‍යාපනය ඔස්සේ එබඳු වෘත්තිකයන් බිහිකර ගත හැකි ය.
ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනයක් පවතින රාජ්‍යයෙකි. අපි ඒ ගැන මහත් උජාරුවෙන් කතා කරන්නෙමු. හෝඩියේ සිට උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව රටවැසියාට ඇත. අතීතයෙහි අධ්‍යාපනය හිමිවූයේ ප්‍රභූ පන්තියට පමණි. එය වෙනස්කොට සැමට අධ්‍යාපනය යන සංකල්පය හඳුන්වා දීම සමාජයට යුක්තිය ඉටු කිරීමක් ලෙස සැලකිය හැකි ය. අපේ සමාජයේ ඇති - නැති පරතරය ඉවත් කිරීමට ද අධ්‍යාපනය යම් ආකාරයකින් දායක වී ඇත. රජය ගෙන ඇති අලුත් තීන්දුවකට අනුව දරුවන් වසර දහතුනක් අධ්‍යාපනයෙහි නියුක්ත වීම අනිවාර්ය වේ. මේ සියල්ල සාධනීය ලක්ෂණ සේ පෙන්වා දිය හැකි ය. එහෙත් අධ්‍යාපනය පරිපූර්ණ එකක් බවට පත්වීමට නම්; එය රැකියා වෙළෙඳ පොළ හා ලෝක ආර්ථික ක්‍රියාවලිය සමඟ බද්ධ විය යුතුය. රජය පියවරෙන් - පියවර සමීපවන්නේ ඒ තැනට ය.
විදේශීය අධ්‍යාපනයට ද රජය අවස්ථාවක් ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට විදේශීය උපාධි ලබාගත හැකි ආයතන ගණනාවක් රටේ ස්ථාපිත වී ඇත. ඒවා නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ද රජය පියවර ගනිමින් සිටී. මේ හැරෙන්නට විදේශීය රටවලට ගොස් අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ද රජය ක්‍රියාත්මක කරයි. ඒ සඳහා සිසුන් තෝරාගනු ලබනුයේ සාධාරණ විභාග ක්‍රමයක් තුළ ය. අධ්‍යාපනය සඳහා පොඩි මිනිහාට අවස්ථාවක් නැතැ’යි තර්කයක් වර්තමානයේ දී ඉදිරිපත් කළ නො හැකි ය.
අධ්‍යාපනය, ශික්ෂණය හා මිනිසුන්ගේ සහජ හැකියා රටක සංවර්ධනය තීන්දු කරන ප්‍රධාන සාධක බව ආර්ථික විශේෂඥයන්ගේ පිළිගැනීම වී ඇත. අපේ පාලකයන් ඒ බව වටහාගෙන ඇති බවක් පෙනෙයි. ජනාධිපතිවරයා කියා ඇත්තේ අධ්‍යාපනයේ ඇති උග්‍ර තරගය වළක්වා දරුවන්ට නිදහසේ සිය හැකියා වර්ධනයට අවස්ථාව ලබාදිය යුතු බව ය. අගමැතිවරයා කියා ඇත්තේ විසිඑක්වන සියවසට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව ය. අධ්‍යාපන අමාත්‍යවරයා කියා ඇත්තේ විභාග ඔස්සේ දරුවන් අතරමං වීමට ඉඩ නොදෙන බව ය. සමස්තය ගත්විට රටට හා ලෝකයට ගැළපෙන අධ්‍යාපනයක් වෙත අප ගමන් කරමින් සිටින බව පෙනෙයි. යුනෙස්කෝව පවා එය අනුමත කර තිබීම සුබ නිමිත්තකි.
අදහස් 1ක් ඇත
The above article...
නව අදහස දක්වන්න