ලොව සසල කළ නොත්‍රදාම ගින්න | දිනමිණ

ලොව සසල කළ නොත්‍රදාම ගින්න

ධම්මික සෙනෙවිරත්න

ගින්නට හේතුව තව­මත් නිශ්චි­තව අනා­ව­රණ වී නොමැත. එහි බිත්ති­වල දිස්වූ පැලුම් හේතු­වෙන් දේව­ස්ථා­නයේ ප්‍රති­ස­ස්ක­රණ කට­යුතු සිදු­වෙ­මින් තිබිණි. ඊට සමා­ගම් 5ක් එක්ව සිටි­යහ. බල­ධා­රීන්ගේ අනු­මා­නය වී ඇත්තේ මෙම ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හා ගින්න අතර සම්බ­න්ධ­යක් තිබිය හැකි බවය. ගින්න ඇති­ව­න­විට එම කට­යු­තු­වල යෙදී සිටි සේව­කයෝ දෛනික රාජ­කාරි නිමවා සිටි­යහ.

පාස්කු­වට සති­ය­ක­ටත් අඩු කාල­යක් තිබි­යදී ප්‍රංශ ජන­යාගේ හද­වත් නතර විය. ලෝ පතළ කිතුණු පුද­බි­මක් පම­ණක්ම නොව සකල ලෝක­වාසී කලා රසි­ක­යන්ගේ මහඟු උරු­ම­යක් ද වන පැරී­සියේ නොත්‍ර-දාම දේව­ස්ථා­න­යට විශාල හානි­යක් සිදුවී තිබේ. නොත්‍ර-දාම දේව­ස්ථා­නය ප්‍රංශයේ සංකේ­ත­යක් බඳුය. මීට වසර 800 කට පමණ ඉහ­තදී ඉදි වූ එය යුනෙස්කෝ ලෝක උරු­ම­යක්ද වේ. ඊට ඇති සංචා­රක ආක­ර්ෂ­ණය කොප­ම­ණද යත් අයි­ෆල් කුලුන නැරැ­ඹී­මට වාර්ෂි­කව පැමි­ණෙන සංඛ්‍යාව ඊට දෙවැ­නිය. දේව­ස්ථා­නයේ ඇති වූ, තව­මත් හේතුව අපැ­හැ­දිලි හදිසි ගින්නෙන් එහි දැව­මය වහ­ලය හා ප්‍රධාන කුලුන මුළු­ම­නින් විනා­ශ­යට පත් විය. ගින්නට හසු වූ ප්‍රදේ­ශයේ විශාල විවර 2ක් ඇති වී තිබෙන අතර ඇතු­ළ­තට ද අලා­බ­හානි සිදු වී තිබේ. 500 කට ආසන්න ගිනි නිවන භට­යන්ගේ දැඩි පරි­ශ්‍ර­මය මැද පැය ගණ­නා­වක මෙහෙ­යු­ම­කින් දේව­ස්ථා­නයේ ඝණ්ඨාර සහිත සෙසු කුලුනු 2 ගින්නෙන් බේරා ගැනී­මට හැකි විය. රොබෝ තාක්ෂ­ණ­යද ඊට යොදා­ගැ­නිණි.

නොත්‍ර-දාමය කිතු­ණු­වන්ගේ උතුම් පුද­බි­මක් වන්නේ ජේසු­තු­මන් කුරු­සයේ ඇණ­ග­සන අව­ස්ථාවේ එතු­මන්ට පැළැ­ඳවූ කටු ඔටුන්න එහි තැන්පත්ව තිබෙන බැවිනි. ගින්නෙන් ඊට හානි­යක් නොවිණි. එහි සිදු­වෙ­මින් පැවැති ප්‍රති­සං­ස්ක­ර­ණය හේතු­වෙන් වටිනා තඹ ප්‍රතිමා ගණ­නා­වක් ද ඉන් බැහැර කර තිබීම ‍නිසා ඒවා ද ආරක්ෂා විය. එම වටිනා වස්තූන් ලූවර් කෞතු­කා­ගා­රයේ ආර­ක්ෂාව යටතේ තැබී­මට පිය­වර ගෙන තිබේ. වටිනා සිතු­වම් බැහැර කිරීම ඊයේ ඇරැ­ඹී­මට නිය­මි­තව තිබිණි.

මිල කළ නොහැකි කැටයම්

දහ­නව වැනි සිය­ව­සේදී ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පී ඉයු­ජින් වය­ලට් ල. ඩියුක්ගේ නාය­ක­ත්ව­යෙන් යුතුව ගොඩ­නැ­ඟුණු නොත්‍ර-දාමය ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට සංකේ­තය ලෙස බැබ­ලිණි. ඉකුත් සඳුදා හට­ගත් ගින්නෙන් පැය 15ක් පමණ ගත­ව­න­විට ඊට දැඩි ලෙස හානි සිදුවී තිබිණි. එහි තිබූ මිල­කළ නොහැකි කලා­ත්මක වීදුරු කැට­යම් සහිත දැවැන්ත ජනේ­ල­ව­ලට ද හානි සිදු­විය. ගිනි නිවන භට­යන් ඩ්‍රෝන යානා ද ආධා­ර­ක­ර­ග­නි­මින් දේව­ස්ථා­නය නිරී­ක්ෂ­ණය කර තිබේ. සිදුවී ඇති හානි තව­දු­ර­ටත් අව­ධා­න­යට ලක්වෙ­මින් පවතී.

සේන් නදියේ ඉවුරු අස­බ­ඩට වී පැරිස් වැසියෝ කඳුළු පිරි නෙත්ව­ලින් යුතුව ගින්න දෙස බලා­සි­ටි­යදී ප්‍රංශ ජනා­ධි­පති එමෑ­නු­වෙල් මැක්‍රන් වසර 5ක් තුළ දේව­ස්ථා­නය යළි ගොඩ­න­ඟන බවට ප්‍රතිඥා දුන්නේය. ඊට අර­මු­ද­ලක්ද ආරම්භ විය. දැන­ට­මත් පැරි­සියේ ව්‍යාපා­රික දැවැ­න්ත­ය­න්ගේද දාය­ක­ත්ව­යෙන් එය ඩොලර් බිලි­ය­නය ඉක්මවා වර්ධ­නය වෙමින් තිබේ. ලෝ පතළ ලුයී වුයි­ටොන් ව්‍යාපාර ජාලය හිමි බර්නාඩ් අවොල්ට් පවුල යූරෝ මිලි­යන 200ක පරි­ත්‍යා­ග­යක් කර ඇත. ලොරෙල් ව්‍යාපාර ජාලය හිමි බෙට­න්කොට් පවු­ලෙන් යූරෝ මිලි­යන 100 කි. ගුසී ව්‍යාපාර ජාලය හිමි කෙරිංග් සමූ­හය වෙනු­වෙන් ප්‍රංශුවා හෙන්රි ජිනො­ල්ට්ගෙන් යූරෝ මිලි­යන 100කි. ලෝක නාය­ක­යන් ද ඊට දාය­ක­වන බවට පොරොන්දු වී තිබේ. සුපිරි දාන­ප­ති­යාගේ සිට ප්‍රංශයේ අන්ත දිළින්දා දක්වා හැකි අයු­රින් ඊට එක්වන බව දැන­ටම පැහැ­දි­ලිය.

ගින්නට හේතුව තව­මත් නිශ්චි­තව අනා­ව­රණ වී නොමැත. එහි බිත්ති­වල දිස්වූ පැලුම් හේතු­වෙන් දේව­ස්ථා­නයේ ප්‍රති­ස­ස්ක­රණ කට­යුතු සිදු­වෙ­මින් තිබිණි. ඊට සමා­ගම් 5ක් එක්ව සිටි­යහ. බල­ධා­රීන්ගේ අනු­මා­නය වී ඇත්තේ මෙම ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හා ගින්න අතර සම්බ­න්ධ­යක් තිබිය හැකි බවය. ගින්න ඇති­ව­න­විට එම කට­යු­තු­වල යෙදී සිටි සේව­කයෝ දෛනික රාජ­කාරි නිමවා සිටි­යහ. එහෙත්; කිසි­යම් අත­ප­සු­වී­මක් ඊට හේතු­ව­න්නට ඇතිද යන්න ගැන විම­ර්ශ­ක­යන්ගේ දැඩි අව­ධා­නය යොමුව තිබේ. විම­ර්ශන කට­යුතු සඳහා නිල­ධා­රීන් 50 දෙනකු පමණ යොදවා සිටිති. ප්‍රති­සං­ස්ක­රණ කට­යු­තු­වල නියැළී සිටි සේව­ක­යන් 30 දෙන­කු­ගෙන් පමණ ඔවුන් මුල්ව­ට­යේදී ප්‍රශ්න කර ඇත. ගින්නට හේතුව ත්‍රස්ත­වාදී හෝ කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් නොවිය හැකි බව බල­ධා­රීහු ප්‍රකාශ කළහ.

සමාජ ජාල ඔස්සේ කිසි­යම් ත්‍රස්ත­වාදී හෝ අන්ත­වාදී ක්‍රියා­වන් ඊට හේතු­ව­න්නට ඇතැයි ප්‍රචාර සිදු­වු­ණද ඒවා ව්‍යාප්ත වීම පාල­නය කිරී­මට එම මාධ්‍ය ආය­තන පිය­වර ගෙන තිබිණි.

ප්‍රංශයේ ල’ පැරි­සි­යන් පුව­ත්පත පළ­කළ පරිදි දේව­ස්ථා­නයේ ගිනි අන­තුරු සීනුව සඳුදා සවස 6.20ට පමණ නාද­විය. එහෙත් ගින්නක ලකුණු දිස්නො­විණි. යළිත් එය සවස 6.43ට නාද­ව­න­විට ගින්න පැති­රෙන අයුරු දැකිය හැකි­විය. එය විදුලි සෝපා­න­යක විදුලි කාන්දු­වක් නිසා ඇති­වි­ණිද යන්න ගැනද අව­ධා­නය යොමුවී ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතු

නොත්‍ර-දාම දේව­ස්ථා­න­යට එම නම ලැබී­මට හේතුව ලෝප­තළ ප්‍රංශ ගත්කරු වික්ටර් හියු­ගෝගේ “ද හන්ච්බැක් ඔෆ් නොත්‍ර-දාම්” කෘති­යයි. එම කෘතියේ ප්‍රකා­ශ­ක­යන් වන පැරී­සිය කේන්ද්‍ර ­ර­කො­ට­ගත් ප්‍රධාන පොත් ප්‍රකා­ශක ආය­තන 2ක් වර්ෂ 1831 දී මුල්ව­රට ප්‍රකා­ශ­යට පත්වූ එම කෘතියේ නව මුද්‍රණ අලෙ­වි­යෙන් ලැබෙන ආදා­යම දේව­ස්ථා­නය ගොඩ­නැ­ඟීමේ අර­මු­ද­ලට පරි­ත්‍යාග කරන බව බී. බී. සී. යට පැව­සූහ. සෙසු ප්‍රකා­ශ­න­ය­න්ගෙන් හා පොත්හ­ල්ව­ලින්ද ඔවුහු එම ඉල්ලීම කළහ.

ඉකුත් බදාදා වන­වි­ටද දේව­ස්ථා­නය ඇතු­ළත පරීක්ෂා කිරීම ආර­ක්ෂා­කාරී නොවීම නිසා එම කට­යුතු බ්‍රහ­ස්ප­තින්දා දක්වා කල් ගියේය. ගින්නෙන් සිදු වූ අලාභ හානි තක්සේරු කිරීමේ කට­යු­තු­වල ගිනි නිවන භටයෝ මේ වන­විට යෙදී සිටිති. දේව­ස්ථා­නයේ අල්තා­රය මතට ද ගිනි­ගත් වහ­ලය ඇතුළු සුන්බුන් කඩා­වැටී ඇත. එහෙත් කුරු­ස­යට හානි සිදු වී නැතැයි CBS වාර්තා­කා­රිය පව­සයි.

ප්‍රති­නි­ර්මාණ කට­යු­තු­ව­ලදී දැව­මය වහ­ලය යළි ගොඩ­නැ­ඟීම වැනි පිය­වර අභි­යෝ­ගා­ත්මක බව පෙනෙ­න්නට ඇත. 13 වැනි සිය­ව­සේදී ඊට යොදා­ගත් ප්‍රමා­ණයේ දැව දැනට සොයා ගැනීම අප­හසු බව සංර­ක්ෂ­කයෝ පව­සති. කෙසේ වුවද මීට වසර කිහි­ප­ය­කට පෙර නැෂ­නල් ජියෝ­ග්‍රැ­ෆික් වැඩ­ස­ට­හ­නක් වෙනු­වෙන් දේව­ස්ථා­නයේ ත්‍රිමාන දර්ශන මුළු­ම­නින්ම වා‍ගේ ලබා­ගෙන තිබීම මෙම ප්‍රති­නි­ර්මාණ කාර්ය­යට විශාල රුකු­ලක් වනු ඇතැයි පැවසේ. එය ඉංජි­නේ­රු­වන්ට හා ගෘහ නිර්මාණ ශිල්පීන්ට බෙහෙ­වින් ප්‍රයෝ­ජ­න­වත් වනු ඇති බව පැහැ­දි­ලිය. ලේසර් තාක්ෂ­ණය යොදා­ග­නි­මින් එම දර්ශන ලබා­ගෙන තිබුණේ 2015 වස­රේදී ය. ඊට මුල්වූ ගෘහ නිර්මාණ ශිල්පී 49 හැවි­රිදි ඇන්ඩ්‍රෲ ටැලොත් ඉකුත් වස­රේදී මිය ගියේය. දේව­ස්ථා­නයේ ස්ථාන 50ක් පමණ ඇතු­ළත හා බාහිර දර්ශන ඔහු ලබා­ගෙන තිබිණි.

නොත්‍ර-දාම ගින්නත් සමඟ අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍ය­ස්ථාන ගොඩ­නැ­ගිල්ල හා එම්ප­යර් ස්ටේට් ගොඩ­නැ­ගිල්ල ප්‍රංශ ධජයේ වර්ණ රැගත් විදුලි බුබු­ළු­ව­ලින් සරසා ඇති අයුරු දැකිය හැකිය. ප්‍රංශ ජනයා වෙත සිය සහෝ­ද­ර­ත්වය පළ­කි­රීම ඉන් සංකේ­ත­වත් කරන බව නිව්යෝර්ක් වැසියෝ පව­සති.

ඓතිහාසික වැදගත්කම

නොත්‍ර-දාම දේව­ස්ථා­නයේ ඉදි­කි­රීම් ආර­ම්භ­වූයේ 7වැනි ලුවී රජ දවස ක්‍රි. ව. 1163 දී ය. එය සම්පූර්ණ වූයේ ක්‍රි. ව. 1345දී ය. එනම් වසර 200 කට ආසන්න කාල­යක් එය ඉදි­කි­රී­මට ගතවී තිබේ. සිදු­වීම් ගණ­නා­වක් නිසාම එය ඓති­හා­සි­කව වැද­ගත් ය. එංග­ල­න්තයේ 6 වැනි හෙන්රි රජු ක්‍රි. ව. 1431 දී කිරුළු පැල­ඳුවේ මෙම දේව­ස්ථා­නය තුළ­දීය. වර්ෂ 1804 දී නැපෝ­ලි­යන් බොන­පාට් ප්‍රංශ අධි­රා­ජයා ලෙස කිරුළ පැල­ඳු­වේද මෙහි­දීය. 12 වැනි සිය­ව­සේදී පැරී­සිය ලෝකයේ ආර්ථික හා ආධ්‍යා­ත්මික මධ්‍ය­ස්ථා­න­යක් බවට පත්ව තිබූ අයුරු නොත්‍ර-දාම දේව­ස්ථා­නය මඟින් සංකේ­ත­වත් විය.

නොත්‍ර-දාම දේව­ස්ථා­නය ඉදිවී ඇත්තේ පැරැණි ලුටේ­ෂියා නග­රය මතය. 1960 ගණ­න්වල සහ 1970 ගණ­න්වල කළ පුරා­වි­ද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­ව­ලදී ඇතැම් නට­බුන් මතු­කර ගැනී­මට හැකි­විය.

පැරී­සියේ ඉති­රිව තිබූ පැරැ­ණිම දැව නිර්මා­ණය නොත්‍ර-දාමයේ වහ­ලය විය. එය තැනීම වෙනු­වෙන් 12 වෙනි සිය­ව­සේදී අක්කර 52ක වප­ස­රි­යක තිබූ ගස් කපා දැව ලබා­ගෙන තිබේ. වහ­ලයේ සෑම පරා­ල­යක්ම තනි ගසක් බැගින් යොදා‍ග­නි­මින් එය නිර්මා­ණය කර තිබිණි. මේ හේතු­වෙන් දේව­ස්ථා­නයේ වහ­ළය “වනා­න්ත­රය” යන සුර­තල් නාම­යෙන් හැඳි­න්විණි.

දේව­ස්ථා­නය ඉදි කිරී­මේදී පියා­ඹන මුක්කු යොදා­ගෙන ඇති අතර එම තාක්ෂ­ණය භාවිත වූ පැරැ­ණිම නිද­සු­නක් ලෙස මෙය දැක්විය හැකිය. එම පියා­ඹන මුක්කු ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ අංග­යකි. වර්ෂ 1793දී ප්‍රංශ විප්ලව සම­යේදී රජ­වරු 28 දෙන­කුගේ හිස් එතු­ළදී වෙන්විය. 16 වැනි ලුවී රජු ගිල­ටී­න­යට යැවු­ණේද මේ වස­රේ­දී­මය.

එක්ව­රම බැලූ­විට දේව­ස්ථා­නයේ දැන­ටද ඉති­රිව ඇති ඝණ්ඨාර සහිත කුලුනු 2 නිවුන් ගොඩ­නැ­ගිලි ලෙස දිස්වු­වද ඒවා එකි­නෙක සමාන නැත. දේව­ස්ථා­නයේ එම ඝණ්ඨා 19 වැනි සිය­ව­සේදී අලු­තෙන් යොදන ලදී. එහෙත් පැරැණි ඝණ්ඨා මෙන් ඒවායේ හඬ සුවි­ශේෂී නොවීය. යළිත් 2013 වස­රේදී ඝණ්ඨා සවි­කළ අතර ඒවා­යින් මතු­වූයේ 17 වෙනි සිය­වසේ ඝණ්ඨා නාද­යයි. විශේෂ අව­ස්ථා­ව­ලදී මෙම ඝණ්ඨා නාද කෙරේ.

දේව­ස්ථා­නයේ දැව­මය වහ­ලය මීමැ­ස්සන්ට වාස­භූ­මි­යක් වී තිබිණි. අවට ඇති උද්‍යා­න­ව­ලින් පැණි උර‍‍ා­බොන මීමැස්සෝ එහි ඇති වද­වල පැණි තැන්පත් කළහ. මින් ඉදි­රි­යට එදෙ­සින් ඇසුණු ගුමු ගුමු නාද­යද නොඇ­සෙනු ඇත.

නව අදහස දක්වන්න