කල්පනාකාරී විය යුතු මොහොතක් | දිනමිණ

කල්පනාකාරී විය යුතු මොහොතක්

අලුත් අවුරුදු ශේෂ පත්‍රය සටහන් වූයේ බරපතළ ඛේදවාචකයකින් ය. දිවයින පුරා ස්ථාන හයක සිදුවූ පිපිරීම් කිහිපයකින් මුළු රට ම කැළඹීමට පත්වී ඇත. මේ සටහන ලියන මොහොත වනවිට සියදෙනකු මියගොස් ඇති බව ද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වී ඇත. මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි ය. යුද්ධය අවසන් වීමෙන් පසු සිදුවූ බරපතළම සිද්ධිය මෙය යැයි හඳුන්වාදිය හැකි ය. සැලැසුම් සහගත ප්‍රහාරයක් ලෙස ද මේ සිද්ධි දාමය පෙන්වාදිය හැකි ය. කොළඹ පමණක් ස්ථාන හතරක පිපිරීම් සිදුවී තිබේ. එය තවත් බරපතළ තත්ත්වයක් සේ සැලැකිය හැකි ය.

ප්‍රහාරකයන් උපාය මාර්ගික ලෙස සංකීර්ණ තත්ත්වයක් මවා ඇති බව පෙනෙයි. එක අතෙකින් ආගමික මධ්‍යස්ථානවලට පහර දෙන අතර තව අතෙකින් හෝටල් සංකීර්ණවලට පහර දී ඇත. ආගමික ගැටුමක් ඇති කිරීම හෝ ආගම්වාදය මත ප්‍රහාරය පැටවීම එහි අරමුණ විය හැකි ය. සංචාරක හෝටල්වලට ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රටේ ආර්ථිකය අඩාල කිරීමට යැයි කිව හැකි ය. කොළඹ ප්‍රසිද්ධ හෝටල්වලට පහරදීමෙන් සංචාරක කර්මාන්තය විනාශ කළ හැකි ය. මෙබඳු සංකීර්ණ පසුබිමක් ඇති කරන්නේ ප්‍රහාරකයන් හඳුනාගැනීම දුෂ්කර කිරීමට යැයි තවත් මතයක් ඉදිරිපත් කළ හැකි ය. කෙසේ වුව තත්ත්වය සංකීර්ණ බව කිව යුතු ය.

විශාල මිනිස් ඝාතනයක් සිදුකිරීම ප්‍රහාරකයන්ගේ අරමුණ වී තිබෙන්නට ඇත. ආගමික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර ඇත්තේ බැතිමතුන් වැඩිම පිරිසක් එම ස්ථානවලට රැස්වන අවස්ථාව සලකාගෙන ය. හෝටල් සංකීර්ණවලට පහර දී ඇත්තේ ද උත්සව අවස්ථා සැලැකිල්ලට ගනිමින් ය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික කටයුතු සිදුවෙමින් පැවැති මොහොතේ ප්‍රහාරය එල්ල වී ඇත. නැතහොත් පිපිරීම් සිදුකර ඇත. මීගමුව කටුවාපිටිය ‍ෙද්වස්ථානයේ ද, මඩකළපුව සියෝන් දේවස්ථා‍නයේ ද ප්‍රහාර ක්‍රියාත්මක වී ඇත්තේ ආගමික කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක ය. කොළඹ ෂ්‍රැන්ග්‍රිලා, සිනමන් ගාඩ්න් හා කිංග්ස්බරි හෝටල්වල පිපිරීම් සිදුකර ඇත්තේ ද විදේශීය සංචාරකයන් බහුලව සිටින අවස්ථාවක ය.

සිදුව ඇත්තේ කිසිසේත් ම නොසිදුවිය යුත්තකි. රටේ සාමයට, සහජීවනයට මෙන් ම ආර්ථිකයට ද මෙය බලවත් හානියක් සිදුකරනු ඇත. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවට පත්වන්නා සේ ම අදාළ පරීක්ෂණවලට සහයෝගය ලබාදීම ජනතාවගේ යුතුකම බව ය. මේ මොහොතේ ජනතාවගේ හැසිරීම ඉතා යහපත් විය යුතු ය. සන්සුන් විය යුතු ය.

ජනතාව හැඟීම්බර වී ක්‍රියාකරන්නට ගියහොත් සියල්ල අවුල් වන්නට පුළුවන. ප්‍රහාරකයන් කවුද? ඔවුන් කුමන අරමුණක් ඇතිව මේ ප්‍රහාරය ක්‍රියාත්මක කළේ ද? යන ප්‍රශ්නවලට උත්තර සපයාගත යුත්තේ රටේ ආරක්ෂක අංශ මිස ජනතාව නොවේ. ජනතාව නීතිය අතට ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

මේ මොහොත වනවිටත් විවිධ තොරතුරු විවිධ ආරංචි හා විවිධ ‍විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. ඒ කිසිදු තොරතුරක් වගකිවයුතු අංශ වෙතින් තහවුරු කර නැති බව පෙනෙයි. ආගමික මෙහෙයක යෙදී සිටි අසරණ බැතිමතුන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බව සැබෑ ය. ප්‍රහාරය හා ප්‍රහාරකයන් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළ යුතු ය. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ද, ප්‍රහාරය ඉතා සංවිධානාත්මක බව ද අමුතුවෙන් කිවයුතු නැත. තත්ත්වය කෙතරම් බරපතළ ද යත් ජාත්‍යන්තර මාධ්‍ය සියල්ල ම පාහේ ප්‍රහාරය වාර්තා කර තිබේ. සමාජ මාධ්‍ය හෙළිදරව් කරන තොරතුරු හා ආරංචි දෙස බුද්ධිමත්ව බලන්නැ’යි ආරක්ෂක අංශ පෙන්වා දී ඇත. එය ඉතා වැදගත් ය. ජනතාව කුලප්පු කරන අසත්‍ය ආරංචි පැතිර යන බවක් පෙනෙයි.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ කිහිපයක් රජය ගෙන තිබේ. ඊයේ දහවල් වනවිට ආරක්ෂක මණ්ඩලය රැස්විය. සන්ධ්‍යාව වනවිට කැබිනට් මණ්ඩලය රැස්විය. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදීම සඳහා රැස්වීම් කිහිපයක් පවත්වා ඇත. රටේ ආගමික මධ්‍යස්ථානවලටද විදේශීය සංචාරකයන් සහිත හෝටල් සංකීර්ණවලටද විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත. ගුවන්තොටුපළ සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුවී ඇති බව කිව හැකි ය. දැන් සිදුවිය යුත්තේ ඉහත කී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ද ලබාදීම ය.

යුද්ධය අවසන් වීමෙන් පසුව වසර දහයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව සාමකාමී රාජ්‍යයක් ලෙස පැවැතිණි. මේ සිද්ධියත් සමඟ තත්ත්වය වෙනස් වී ඇත. අප වෑයම් කළ යුත්තේ ඉදිරියේ ඇතිවිය හැකි භයානක තත්ත්වයන් වළක්වා ගැනීමට ය. එක අතෙකින් නීතිය හා සාමය ගැන බරපතළ සාකච්ඡාවක් පැවැත්වීම වැදගත් ය. තව අතෙකින් ආරක්ෂාවට අදාළ පරීක්ෂා කිරීම් දැඩි විය යුතු ය. මේ ප්‍රහාර මාලාව සිදුවී ඇත්තේ පරීක්ෂා කිරීම් දුර්වල තත්ත්වයක පැවැති නිසා යැයි කිවහොත්; එය පහසුවෙන් බැහැර කළ හැකි නො වේ. මේ තත්ත්වය සැහැල්ලුවෙන් සැලැකීම වැරැදිය. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් යළිත් මුල සිට ක්‍රියා කරන්නට අවස්ථාව පැමිණ තිබේ.

ඛේදජනක අවස්ථාවේ ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය ද, සෞඛ්‍ය අංශ ක්‍රියා කළ ආකාරයද පැසසුම් කටයුතු ය. කිසියම් විපතකදී සාමුහිකව ක්‍රියාත්මකවීමේ හැකියාව අපේ ආයතනවලට තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය දින දෙකක් පාසල් වසා දැමීමට තීරණය කර ඇත. එය ඉතා බුද්ධිමත් තීරණයක් සේ පෙන්වාදිය හැකි ය. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පමණක් දෙසිය ගණනක් නේවාසිකව ප්‍රතිකාර ලබති. ඇතැම් රෝගීන්ට රුධිරය අවශ්‍ය වූ අවස්ථාවේ රුධිරය දන් දෙන අය ඉදිරිපත් වී එම අවශ්‍යතාව ඉටුකරන්නට දැක්වූ උද්‍යෝගය අගය කළ යුතු ය. එය ජාතික කාර්යයක් ඉටුකිරීමක් ලෙස ද සැලැකිය හැකි ය. ප්‍රහාරයට ගොදුරු වූ අයගේ ජීවිත ආරක්ෂා කිරීම අපගේ පළමු වගකීම විය යුතු ව තිබේ.

නැවතත් කිව යුත්තේ නොසිදුවිය යුත්තක් සිදුවී ඇති බව ය. මෙබඳු අවස්ථාවකට මුහුණදිය යුත්තේ ඉතා කල්පනාකාරීව ය. සන්සුන්ව හා බුද්ධිමත්ව ක්‍රියා කළ තරමට මෙබඳු ඛේදවාචක වළක්වා ගැනීමේ හැකියාව වර්ධනය වනු ඇත.


නව අදහස දක්වන්න