මහජන බැංකුව සහ චීන සංවර්ධන බැංකුව අතර සම්මුතියක් | දිනමිණ

මහජන බැංකුව සහ චීන සංවර්ධන බැංකුව අතර සම්මුතියක්

මහජන බැංකුව, චීන සංවර්ධන බැංකුව සමඟ ඇමරිකන් ඩොලර් මිලියන 200 ක වසර 8 ක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි ද්විපාර්ශ්වික මූල්‍ය සම්මුතියකට එළඹිය. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක් විසින් කාලීන අරමුදල් හුවමාරු කිරීමේ පහසුව ලබාදීම සඳහා අත්සන් කළ විශාලතම අරමුදල් සපයන අන්තර් මූල්‍ය ගිවිසුමකි.

මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම 2019 මාර්තු 27 වැනිදා මහජන චීනයේ නැනින් හි පිහිටි ගුවාංෂි(Guangxi)චීන සංවර්ධන බැංකු ශාඛාවේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මහජන බැංකුවේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් සහ චීන සංවර්ධන බැංකුවේ ගුවාංෂි(Guangxi) ශාඛාවේ සාමාන්‍යාධිකාරී මෙයි ෂිවෙන් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. ඉන්පසු ඉදිරි මූල්‍ය කටයුතු සහ අනාගත සම්බන්ධතා ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් මහජන බැංකුවේ නිලධාරීන් සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සිදුවිය. චීන සංවර්ධන බැංකුව විසින් 2018 මැයි මාසයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන බැංකුව තෝරාගන්නා ලදී. එම ගිවිසුම මඟින් මූල්‍ය පහසුකම්, ගනුදෙනුකරුවන් හඳුන්වාදීම, ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සහ මානව සම්පත් පුහුණුව මෙන්ම අත්දැකීම් බෙදාහදාගැනීම ද සම්බන්ධව කටයුතු පිළිබඳව සම්මුතියකට පැමිණිනි. පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාළව මෙම මූල්‍ය සම්මුතිය සඳහා එකඟතාවයකට එළඹිණි.

මහජන බැංකුවේ අවුරුදු 57 ක්වූ සිය සාර්ථක ගමන් මඟේදී ශ්‍රී ලංකාවේ දසත විසිරී සිටින ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමේ දොරටු විවරකරන ලදී. එය තවදුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලාංකිකයන්ට මූල්‍ය සේවා පහසුකම් සමීප කරන්නට බැංකුව කැපවෙයි. පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ පරම අරමුණ පෙරදැරි කරගෙන ඉදිරියට යන මහජන බැංකුව බිළිඳිගේ සිට වැඩිහිටියා දක්වා මූල්‍ය සේවා පුළුල් කර ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට මූල්‍ය ශක්තියෙන් පිරි ඉතා ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමට බැංකුව සැමදා කැපවේ. දිවයින පුරා විහිදී ඇති 738ක් වන සුවිසල් බැංකු ශාඛා ජාලය සහ සබඳතාවය සමඟ රටපුරා

විහිදී ඇති 4000කට අධික ATM ජාලය හරහා මිලියන 10කට අධික ගනුදෙනුකාර ජනතාවකගේ විශාල පරාසයක පැතිරුණු විවිධ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් ඉදිරියට යාමේ ශක්තිය මහජන බැංකුවට පවතී. දිවයින පුරා විසිරී ඇති සිය ස්වයං බැංකුකරණ ඒකකවලින් පැය 24 පුරා දින 365ම කිසි බාධාවකින් තොරව මූල්‍ය ගනුදෙනු සිදු කරගත හැක. මෙම පහසුකම් මඟින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව තමන්ගේ බැංකු කටයුතු කරගැනීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කිරීම උදෙසා වෙහෙසෙන සියලුම අංශයන්ට අයත් ව්‍යාපාර මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීම උදෙසා අතීතයේ සිටම දීර්ඝ ගමනක් පැමිණ තිබේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය, වාණිජ සංවර්ධන ක්ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙන්ම ආනයන, අපනයන අංශයන්හි අභිවෘද්ධිය උදෙසා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රට ඉදිරියට ගෙනයාමට ඉහළ දායකත්වයක් ලබාදේ.

ඉහළ ප්‍රමුඛතාවක් ඇති රාජ්‍ය ව්‍යාපෘති සිදුකිරීම සඳහා මූල්‍ය පහසුකම් සපුරාදීම වෙනුවෙන් 1994 දී චීන සංවර්ධන බැංකුව ආරම්භ කළේය. මෙය ආරම්භ කරන අවස්ථාවේදී සිටම ප්‍රතිපත්තිමය මූල්‍ය පහසුකම් සැලසීම උදෙසා චීන සමූහාණ්ඩාවේ රාජ්‍ය කවුන්සිලයේ ඝෘජු නායකත්වය මතින් පාලනය වේ. 2008 වසරේදී සංස්ථාගත වූ මෙම ආයතනය 2015 දී චීන රාජ්‍ය කවුන්සිලය මඟින් සංවර්ධන මූල්‍ය ආයතනයක් ලෙස සහතික කරන ලදී. වර්තමානයේදී ඔවුන් යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රධාන කර්මාන්ත සංවර්ධනය, බලශක්ති සංවර්ධනය සහ ප්‍රවාහන සංවර්ධනය ආදී ජාතික ව්‍යාපෘති උදෙසා මූල්‍ය පහසුකම් සලසයි.

මහජන චීනයේ බීජිං අගනුවර චීන සංවර්ධන බැංකුවේ ප්‍රධාන ශාඛාව පිහිටා ඇත. චීන සංවර්ධන බැංකුව ලෝකයේ විශාලතම සංවර්ධන මූල්‍ය ආයතනය වන අතර චීන මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති දිගුකාලීන ණය සහ බැදුම්කර නිකුත් කරන විශාලතම බැංකුවයි. 2017 වසර අවසානයේ දී චීන සංවර්ධන බැංකුව සහතික කළ ඍඵඊ බිලියන 421 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 63ක)මූල්‍යප්‍රාග්ධනයක් සහ ඍඵඊ ත්‍රිලියන 16ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 2.4)වත්කම් හිමිකම් සහතික කළ සුවිසල් මූල්‍ය ආයතනයකි. ප්‍රධාන ශාඛා 37ක් සහ ද්විතීක ශාඛා 3ක් චීනය පුරා විහිදී තිබෙන මෙම බැංකුවේ අක්වෙරළ බැංකු ඒකකයන් හොංකොං, ඊජිප්තුව, රුසියාව, බ්‍රසීලය, වෙනිසියුලාව, එක්සත් රාජධානිය, ලාඕසය, කසකස්ථානය, බෙලරුසියාව, ඉන්දුනිසියාව සහ ඕස්ට්‍රෙලියාවට ආදී රටවල නියෝජිත ශාඛා 10ක් ස්ථාපනය කර තිබේ.

 

 


නව අදහස දක්වන්න