ට්‍රම්ප් රුසියාව සමඟ එක්වී මැතිවරණ වංචාවක් කර නෑ | දිනමිණ

ට්‍රම්ප් රුසියාව සමඟ එක්වී මැතිවරණ වංචාවක් කර නෑ

පරීක්ෂණවලට බාධා කළ බවට එල්ලවන චෝදනා ගැන නිශ්චිත නිගමනයකුත් නෑ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ රුසියානු බලධාරීන් අතර සමීප සම්බන්ධයක් පැවතියේ ද යන්න පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව කොන්ග්‍රස් සභාවට ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොන්ග්‍රස් සභාවේ අධිකරණ කමිටුවේ සභාපති ජෙරී නැඩ්ලර් මෙම කැඳවීමේ නියෝගය නිකුත් කළේ අදාළ වාර්තාවේ සංක්‍ෂිප්ත පිටපතක් පමණක් සභාවට ලැබීමෙන් පසුවය.

ජනාධිපති ට්‍රම්ප් රුසියාව සමඟ එක් වී වංචාවක් කරනු ලැබ ඇතැයි ඔහුගේ පරීක්ෂණයෙන් ඔප්පු වී නැතත්, එම පරීක්ෂණයට ඔහු බාධා පැමිණ වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළැඹ නැත.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාධා කරන බවට එල්ලවන චෝදනා පසුපස හඹා යමින් ඊට එරෙහිව ක්‍රියා කිරීමට ඔහුගේ ප්‍රතිවාදීන් ප්‍රතිඥා දුන්නේය.

FBI හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කර තිබුණි.

ඔහුගේ සංක්‍ෂිප්ත වාර්තාව එළිදැක්වුණේ බ්‍රහස්පතින්දායි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියා සිටින්නේ සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස් වී ඇති බවය.


නව අදහස දක්වන්න