ජාතික පෝෂණ සතිය අදින් ඇරඹේ | දිනමිණ

ජාතික පෝෂණ සතිය අදින් ඇරඹේ

රටේ දරුවන්ට අපේ කිරි වීදුරුවක්

සිසු දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සහ 2025 වසර වනවිට දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු අරමුණු කොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පෝෂණ සතියක් හඳුන්වා දී තිබේ. මෙම පෝෂණ සතිය තුළදී ආරම්භ කෙරෙන ප්‍රධාන කර්තව්‍යය ලෙස අද දින සිට පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු යොදා තිබේ.

පිටිකිරිවල කිසිදු පෝෂණ ගුණයක් නැතැයි හඬනඟන වකවානුවක රටක ජීවනාලිය බඳු දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමට යාම රජයක් විසින් ගත් ඉතාමත් බුද්ධිගෝචර තීරණයක් ලෙස සැලකිය හැකිය. මන්ද බොහෝ දරුවන් උදෑසන පාසලට පැමිණෙන්නේ ‘හිස් බඩින්ය’. ඒ ඒ ප්‍රදේශවලට අනුව පාසලට ඇති දුර ප්‍රමාණය අනුව මෙන්ම විවිධ ආර්ථික දුෂ්කරතා මතද දරුවෝ උදෑසන ආහාරය නොගෙන පාසලට පැමිණෙති. මෙම දරුවන් අතර උදෑසන පාසලේදී ක්‍රීඩාවන් සඳහාද යොමුවන දරුවන්ද සිටී.

පාසල් විවේක කාලය උදෑසන10.30 ට යෙදෙන බැවින් ඔවුන්ට ආහාර වේලක් ගැනීමට කාලයක් නොමැත. 10.30 වන තෙක් නිරාහාරව සිටින ඇතැම් දරුවෝ පාසලේ උදෑසන රැස්වීම වෙලාවෙහිද ක්ලාන්ත වී වැටෙති. පාසල් ආපනශාලාවල ද බොහෝවිට දක්නට ලැබෙන්නේ තෙල් සහ පිටි සහිත කෙටි ආහාරපාන පමණි. මෙම තෙල් සහිත කෙටි ආහාර මඟින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවත් පිරිහීමට ලක්වේ. නිවෙසින් ආහාර වේලක් ගෙන ඒමට බොහෝ දරුවෝ මැළිවෙති. ඔවුන් ප්‍රියකරනු ලබන්නේ පාසල් ආපනශාලාවේ ඇති කෙටි ආහාරවලටය. ප.ව.1.30 ට පාසල නිමවා දරුවන් තම නිවෙස්වලට යනවිට ප.ව.2.00 – 3.00 පමණ වේ. එසේ දරුවන්ට බො‍හෝ වේලාවක් නිසි ආහාර වේලක් නොලැබීයාම නිසා ඔවුන් මන්දපෝෂණ තත්ත්වයට පවා පත් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙනු ලබන්නේ රටේ දරුවන් 15% කගේ බර අඩු බවයි. මෙවැනි වාතාවරණයක් තුළ රටේ දරුවන්ට නිසි ක්‍රමවේදයන්ට අනුව පෝෂණ තත්ත්වයෙන් අනූන කිරි වීදුරුවක් ලබාදිය හැකි නම් එය අමතර වියදමක් නොව අමතර ආයෝජනයකි. මන්ද සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහෙන දරුවාගේ ප්‍රතිශක්තිකරණය හීනවීමෙන් ඔවුනට වැළදෙන රෝග පීඩාවන්ගෙන් ගලවා ගැනීමට මීට වඩා විශාල වියදමක් රජයට දරන්නට සිදුවන බැවිනි.

ආපනශාලාවටත් නියාමනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා සමඟ ඒකාබද්ධව සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති මෙම ව්‍යාපෘතිය අද (22) දින සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සකසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකය විසින් හඳුනා ගන්නා ලද පෝෂණ ඌණතා ඇති දරුවන් සිටින පාසල්වලට මෙම වැඩසටහනේ මූලිකත්වය ලබාදී තිබේ. එම ඒකකය මඟින් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරි (MOH) කාර්යාල හරහා වසරකට වරක් අදාළ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෞෂණ තත්ත්වය පිරික්ෂා බලනු ලබයි. පාසල් ආපනශාලාවල ඇති ආහාරපාන සහ ඒවායේ පිරිසිදුකම මෙන්ම පෝෂණ මට්ටමද පරීක්ෂා කෙරේ. එමෙන්ම දරුවන් විවේක කාලයේදී ආහාරයට ගනු ලබන දෑ ද පරීක්ෂාවට ලක්කොට ඒ සියල්ල පාසල් සෞඛ්‍ය ඒකකයට වාර්තා කරනු ඇත. ඔවුන් හඳුනාගෙන ඇති අන්දමට දරුවන් අතර 15% ක් පමණ බර අඩු ළමයින්ද, 10% ක් පමණ බර වැඩි ළමයින්ද සිටිති. ආහාර වේලක් ලබාදීමට සුදුසු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන අතර කිරි වේලක් ලබාදීම මූලික වශයෙන් සිදුකෙරේ. පළමුවෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවල පාසල් හඳුනාගෙන ඇති අතර අනෙක් පාසල් සඳහා යොමුවන්නේ අනුමත වන මුදල් ප්‍රමාණය මත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මස සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළද පරිපාලනමය ගැටලු මත එම කාලවකවානුවේදී එය ක්‍රියාත්මක කිරීමට අවකාශ නොලැබුණු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. පෝෂණයෙන් සපිරි නිරෝගිමත් දරු පරපුරක් රටට දායාද කිරීමේ වැදගත්කම සලකා බලා 2019 ජනවාරි මස සිට සියලුම පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන 1,694,212 ක් වූ සිසුන් සඳහා උදෑසන කිරි වේලක් ලබාදීමට උත්සාහ දැරුවද, රාජ්‍ය හා පෞද්ගලික දේශීය දියර කිරි නිෂ්පාදන ආයතනවලට ලබාදිය හැකි දියර කිරි ධාරිතාවය අඩු බැවින් 1,030,000 ක් පමණ ප්‍රාථමික සිසුන් සඳහා පමණක් මෙම කිරි වේල ලබාදීමට තීරණය කොට තිබේ.

මෙකී වැඩසටහන වෙනුවෙන් 2019 වසර සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ප්‍රමාණ මෙසේය.

දිනක පිරිවැය (පැකට් 1,030,000x21) =

රු.මි. 21.63

වාර්ෂික පිරිවැය (රු.මි. 21.63x200) =

රු.මි.4,326

(පාසල දින 200 ක් සේ සලකා)

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනට 2019 වසර සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන රු.මි.525

දියර කිරි පැකට් සඳහා 2019 ට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය = රු.මි. 3801

පැකට් ගබඩා කිරීම සඳහා කබඩ් 3511 ක් ලබාගැනීම සඳහා ඇස්තමේන්තුගත මුදල =

රු.මි. 175.55

මේ අනුව 2019 වර්ෂය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය = රු.මි. 3976.55

පළමු වාරය සඳහා පිරිවැය =

රු.මි.1429.88

දෙවන වාරය සඳහා පිරිවැය =

රු.මි. 1292.34

තෙවන වාරය සඳහා පිරිවැය =

රු.මි. 1254.33

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඊට සම්බන්ධ වන දේශීය දියර කිරි නිෂ්පාදන සමාගම් නියෝජනය, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජනය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නියෝජනයක් වශයෙන් ඒ ඒ ආයතනවල නියෝජිතයකුගේ සහාය ලබාගෙන අධීක්ෂණය හා පසු විපරම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කොට තිබේ.

එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමට අදාළව හඳුනාගත් පෞද්ගලික අංශයේ දේශීය දියර කිරි නිෂ්පාදන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට තාක්ෂණික අනු කමිටුවක් මඟින් සිදුකිරීමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. එමෙන්ම රජයට අයත් මිල්කෝ සමාගම සමඟ එකඟ වූ පැකට් එකක් රු.21 ක මිලටම අනෙකුත් පෞද්ගලික ආයතන මඟින් ලබාදිය හැකි දියර කිරි ධාරිතාවය සැලකිල්ලට ගෙන ඒ ඒ ආයතනවලට ඇණවුම් ලබාදී වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම හේතුවෙන් දේශීය දියර කිරි සඳහා වන වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීම සඳහා ග්‍රාමීය දියර කිරි නිෂ්පාදනය පුළුල් කිරීමට කාර්යය සාධක බළකාය මැදිහත්ව වැඩපිළිවෙළක් සකස් කරනු ඇත.

කිරි සමාගම්වලට කොන්දේසි

මේ සඳහා සම්බන්ධ වන පෞද්ගලික ආයතන දැනටමත් කිරිපිටි ආනයනය කරන්නේ නම් මෙම වැඩසටහන හේතුවෙන් වැඩිවන ඉල්ලුම සපුරාලීමට සෘජුව හෝ වක්‍රව කිරිපිටි ආනයනය නොකරන බවට එකඟතාවයකට එළඹීමට අවශ්‍ය කටයුතු කාර්ය සාධක බළකාය විසින් සම්පාදනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන්න මෙම වැඩසටහන්වල තේමාව වන අතර පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම හා දේශීය ආහාර සංස්කෘතියක් ගොඩැනැංවීම තුළින් රටට වැඩදායි පුද්ගලයකු බිහිකිරීම මෙහි අරමුණ වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. එනම් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම පළාත් මට්ටමේ, කලාප මට්ටමේ, පාසල් මට්ටමේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවලට, ආහාර කමිටුවට හා පාසලේ සංවර්ධන සමිතියට පැවරේ.

පාසල ආරම්භ කර පළමු පැය තුළ එනම් උදෑසන 7.30 ත් 8.30 ත් අතර ආහාර ගැනීම සඳහා වෙන් වේ. නමුත් විශේෂ හේතු මත පමණක් මෙම කාලය තුළ ආහාර ලබාදීමට අපහසු වේ නම් විදුහල්පති විසින් පෙ.ව.9.30 ට ප්‍රථම ආහාර ‍වේල ලබාදීමට කටයුතු කළ යුතුය. මේ සඳහා විනාඩි 15 ක කාලයක් යොදාගැනීම අනිවාර්ය වේ. කිරි ප්‍රධාන ආහාර වේලක් නොවන බැවින් කිරි ලබාදිය යුත්තේ උදෑසන 9.30 ත් 10.30 ත් අතරය.

වැඩසටහනේ යාන්ත්‍රණය

එමෙන්ම මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර විදුහල්පති ගිවිසුම හා ආහාර සැපයුම්කරු ගිවිසුම අත්සන් කර තිබීම අනිවාර්ය වේ. පාසල් මට්ටමෙන්, අධ්‍යාපන කලාප මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලිය සිදුකිරීම හා ඒ සම්බන්ධ වගකීම් නිසිපරිදි පැවරීම සිදුකළ යුතුය. පාසල් ආහාර ලබාදීම පිළිබඳ ඇගයීම හා නියාමනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 35/2015 අංක දරන 2015.12.31 දිනැති පාසල් ආපනශාලා චක්‍රලේඛයේ සඳහන් පරිදි පාසල් සංවර්ධන සමිතිය විසින් වගකීම පැවරීමට පත්කරනු ලබන අනුකමිටුව වන “පාසල් ආහාර කමිටුව”ට පැවරේ. පාසල් ආහාර කමිටුව විදුහල්පති හෝ විදුහල්පති විසින් නම් කරනු ලබන නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතුය. එහි සාමාජික සංඛ්‍යාව 06 ත් 12 ත් අතර විය යුතුය.

විදුහල්පති/නි.විදුහල්පති (කමිටු ප්‍රධානී), පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු භාර ගුරු මහතා/මහත්මිය, වෙනත් ගුරුභවතකු, පාසල අයත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පාසල් සෞඛ්‍ය ශිෂ්‍ය සමාජයේ සාමාජිකයකු,පරිසර භට කණ්ඩායමේ සාමාජිකයකු, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු, පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයකු, ප්‍රධාන ශිෂ්‍ය නායක / නායිකාව හෝ වෙනත් ශිෂ්‍ය නායකයකු / නායිකාවක්, පාසල් පාරිභෝගික කවයක සාමාජිකයකු මෙයට අයත්ය.

මීට අදාළව පහත සඳහන් තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

පාසල් නාම ලේඛන හා ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු - සෑම වර්ෂයකම ජනවාරි 20 වන දිනට පෙර පළාත් මට්ටමින්, කලාප මට්ටමින් හා පාසල් මට්ටමින් මාසික වියදම් විස්තර සෑම මාසයකම 10 වන දිනට පෙර සිසුන්ගේ දෛනික පැමිණීමේ සාරාංශය (වාරයකට වරක්) ආහාර සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු (සැපයුම්කරුගේ නම, ගිණුම් අංකය, බැංකුවේ නම හා බැංකු ශාඛාව) - සෑම වර්ෂයකම ජනවාරි 20 වන දිනට පෙර පාසල් සිසුන්ගේ පෞෂණ මට්ටම පිළිබඳ තොරතුරු (වාරයකට වරක්). නැවුම් කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහනට අනුව, පාසල පිහිටි ප්‍රදේශයෙන් නැවුම් කිරි ලබාගැනීමට හැකියාවක් පවතී නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය සහිතව එම පාසල සඳහා නැවුම් කිරි ලබාදීම සිදුකළ හැකිය.

කිරි ලීටරයක් සඳහා කිරි සැපයුම්කරුවන්ට රු.70 ක් හා අනෙකුත් ද්‍රව්‍ය වෙනුවෙන් පාසලට රු.5 ක් ලෙස රු.75 ක මුදලක් වෙන් කෙරේ.

පාසල් දරුවන්ට ආහාර වේලක් හෝ කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ගන්නා ලද අනගිථ වැඩසටහනකි. මෙම වැඩසටහන අතරමගදී නොනැවතී දිගටම පවත්වා ගැනීම පවතින රජය මෙන්ම ඉදිරියේ පැමිණෙන රජයන්ද වගකීමෙන් යුතුව කළ යුතු කර්තව්‍යයකි. පාසල් බලධාරින්ද මේ සඳහා ඉතා ඕනෑකමකින් යුතුව කටයුතු කළ යුතු අතර ඒ සඳහා නිසි කළමනාකාරිත්වයක්ද තිබිය යුතුය.

සටහන
චතුමි පිටිපන 


නව අදහස දක්වන්න