තාත්තාගෙන් පුතාට දේශපාලනය නතර වෙන්න ඕන | දිනමිණ

තාත්තාගෙන් පුතාට දේශපාලනය නතර වෙන්න ඕන

දීප්ති සුමනරත්න
අරණායක ශ්‍රී ල නි ප සම සංවිධායක‍

අද එහා ඉවුරට අදහස් දක්වන දීප්ති සුමනරත්න ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයකු වේ. ජනාධිපතිවරයා විසින් අරණායක ආසනයේ ශ්‍රී ල නි ප සම සංවිධායකවරයා වශයෙන් ද පත් කරනු ලැබ සිටින ඔහු වත්මන් දේශපාලනය සහ අධ්‍යාපනය සම්බන්ධව මෙසේ අදහස් දක්වයි.

දේශපාලනයට එන්න කලින් ඔබ ජනප්‍රිය ගුරුවරයෙක්. දේශපාලනඥයෙක් විදිහට රටේ වත්මන් අධ්‍යාපන ප්‍රත්පත්තිය ගැන දරන මතය කුමක් ද?

අලුත්වෙන අධ්‍යාපන ප්‍රතිපත්තිවල ලොකු අඩුපාඩුකම් මට පෙනෙන්න නැහැ. ශිෂ්‍යත්ව විභාගය අට වසර දක්වා ගෙන යාම කියන කාරණය ගත්තොත්, එවැනි දෑ විය යුතුයි. මේ ආණ්ඩුවත් සියයට සියයක්ම වැරැදියි කියන්න බැහැ. මේ ආණ්ඩුවත් හොඳ ක්‍රියාමාර්ග ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ යහපත් වැඩවලට ජනාධිපතිතුමාත් ආශිර්වාද කරනවා. ආණ්ඩු පරද්දන්න ඕනෑ කියලා හොඳ දේවල් අයින් කරන්න වුවමනාවක් එතුමට නැහැ. අනෙක් පැත්තෙන් ළමයින්ට ටැබ් එකක් දෙනවා කියන එකට අප්‍රසාදයක් මට තියෙනවා. ටැබ් එකක් දෙනවාට වඩා රට ඇතුළේ කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඊට ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. කොහොම නමුත් දැන් සිදුවෙන ප්‍රතිසංස්කරණ දිහා බැලුවාම නම් පෙනෙන්නෙ නවීන ලෝකයත් එක්ක යන්න ඕන ප්‍රතිසංස්කරණ කියලයි.

පෞද්ගලික අධ්‍යාපනයට රටේ තියෙන විරෝධය ගැන ඔබට කියන්න තියෙන්නෙ මොකක් ද?

මම කිසි දවසක පෝය දිනේට පන්ති පවත්වන්නෙ නැහැ. සබරගමුවේ පෝය දිනයට පන්ති කරන්නෙ නැහැ. නමුත් ඉරිදට පන්ති කරනවා කියන එක ගත්තාම කරුණු කිහිපයක් තියෙනවා. පෞද්ගලික පන්ති පවත්වන්නේ ආයතනගත වෙලා. ඒවායේ ආදායම් විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. ඒ ආයතන නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. සෙනෙසුරාදා ඉරිදා විතරයි පෞද්ගලික පන්ති පැවැත්වෙන්නේ. ඒ ලැබෙන ආදායමෙන් ඒ පන්ති පවත්වාගෙන යාම අපහසුයි. ලංකාවේ ව්‍යාපාර ගත්තොත් ලාභ ලබන ආයතන තියෙනවා. ඒත් පෞද්ගලික අධ්‍යාපනය ගත්තොත් නගරයේ එකක් දෙකක් ඇරෙන්න අනිකුත් ආයතන හරි අමාරුවෙන් දුවන ඒවා. ඒ නිසා ඉරිදා දවසේ උදය වරුව පන්ති පැවැත්වීම නවතා දැම්මොත් ඒ වෘත්තිය කඩා වැටෙනවා. දහම් පාසල් වයසේ දරුවන්ට උදය වරුවේ පන්ති නොතිබ්බත්, උසස් පෙළ දරුවන්ට තියන්න පුළුවන්. එහෙම නොවුණොත් පෞද්ගලික පන්ති පැවැත්වීම ජීවනෝපාය වශයෙන් තෝරාගත්තු පිරිස අමාරුවේ වැටෙනවා. ඉස්කෝලයක් ගත්තොත් අධ්‍යාපන විසමතාවක් තියෙනවා. පන්ති තුනක් ගත්තොත් අනෙක් අයට වඩා එක පන්තියක ගුරුවරයෙක් හොඳයි. එතකොට අනෙක් පන්තිවල දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ විසමතාවයක් තියෙනවා. ඒ විසමතාවය දුරුකරගන්න තමයි ටියුෂන් පන්ති තියෙන්නේ. අපේ වෘත්තිය ඇතුළේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන ගුරුවරු මේ වෘත්තිය ඇතුළේ ඉන්නවා.

කොහොම නමුත්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාල මට්ටමෙන් විරෝධයක් තියෙනවා. ඒ ගැන මොනව ද කියන්නේ?

විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අපිත් අරගල කළා. නමුත් මේ වන විට ඇති හැකි අය මුදල් ගෙවලා අධ්‍යාපනය ලබන එකට විරුද්ධ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මටත් තියෙනවා. කෙනෙක්ට තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට යවා උගන්න ගන්න බැරි වුණා නම්, එයාට සල්ලිත් තියෙනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට දාලා හරි උගන්නලා මේ සමාජයට ගන්න එක කොයි තරම් හොඳද? එතකොට පාරේ මිනිස්සු මරණ එක හරි අඩු වෙයි. අපේ හත්බුදු පරම්පරාවේ කෙනෙකුටවත් ශ්‍රීලනිප ආසන සංවිධායක කමක් ලැබුණේ නෑ. මෛත්‍රී ජනපතිතුමාත් රංජ්ත් සියඹලාපිටිය හිටපු ඇමතිතුමාත් නොහිටියා නම් මේ තනතුර ලැබෙන්නෙත් ඇමැති කෙනෙක්ගෙ, මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙකුට. අපේ රටේ තියෙන මේ ක්‍රමය වෙනස් කරන්න මටවත් තව කෙනෙකුටවත් තනියෙන් බැහැ. තාත්තගෙන් පුතාට යන ක්‍රමය වෙනස් කරන්න කොයි තරම් කාලයක් යයි දන්නෙත් නැහැ. ඒ නිසා සල්ලි තියෙන හෝ නැති ඕනෑම කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම ඉතාමත් වටිනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවන්න අවශ්‍ය නිර්නායක හදලා අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදීම තමයි මම හිතන්නේ කළ යුත්තේ.

පසුගිය අය වැයේ දී අධ්‍යාපනයට විශාල මුදලක් වෙන්වුණා?

මේ අය වැය දිහා හොඳට බලන්න. මේකෙ කෝටි 2000ක් හොයන්නෙ කොහෙන්ද කියලා නැහැ. කෝටි දෙදහසක් උපයන්නෙ කොහොම කියලා සඳහනක් නැතිව මේ අය වැය ක්‍රියාත්මක කරන්නෙ කොහොම ද කියලා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වශයෙන් මට නම් තේරෙන්නෙ නැහැ. අපේ රටේ තියෙන පොතේ දැනුමේ අධ්‍යාපනය නිසා සමහර ළමයි ඔය දෙනවා කියන ණය යෝජනා ක්‍රම ගැන දන්නෙත් නැහැ. අපේ රටේ තියෙන රාජ්‍ය බැංකු කළමනාකරුවෝ ළමයෙක් ගිහින් ණය යෝජනා ගැන ඇහුවට ළමයි දිහා බලයි කියලා හිතන්නවත් බැහැ.

නමුත් රටේ අධ්‍යාපනයට හොඳ ක්‍රමවේදයක් නැහැ කියල චෝදනාවක් තියෙනව නේද?

අධ්‍යාපනය විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල්වලට ක්‍රමවේද සකස් කරන්න ඕන. හැබැයි එහෙම කියලා ක්‍රමය වෙනස් කරන්න ගියොත් වෙනස් කරන්න යන කෙනාට එතැනම ඉන්න වෙනවා. මේ වෙනස් කරන්න නම් ටික දුරක් යන්න ඕනෑ. ක්‍රමයෙන් ඒ දුර ගිහින් ඕනෑ ඒ ක්‍රම වෙනස් කරගන්න. එහෙම නැතිව මේ දේශපාලන ක්‍රමය තුළ පටන් ගන්න තැනින් වෙනස්කරගෙන යන්න බැහැ.

විදෙස් රටවල නම් ශිෂ්‍යයකුට තෝරාගන්න අධ්‍යාපන මාර්ග ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. අපේ රටේ එහෙම ක්‍රමවේදයක් නැත්තේ ඇයි?

අධ්‍යාපනයෙන් උඩට ගියපු ගොඩක් මිනිස්සු කුහක වෙලා. තවත් කෙනෙක් එන එක වළක්වන්න ක්‍රියාමාර්ග ගන්නවා. මමත් විශ්වවිද්‍යාල ඇතුළේ ඔය දේ කළා. එළියට ඇවිත් බලනනකොට තමයි ඇත්ත පේන්නෙ. විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙන දරුවෝ දිහා දැන් බැලුවම ඒ අයට කොහේ හරි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. දුප්පත් වුණත් පොහොසත් වුණත් කවුරුත් දරුවන්. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙන්න ඕන. ළමයෙක් අධ්‍යාපනය ලබනවා කියන්නේ සමාජ සංහිඳියාවක්. ඒ නිසා මගේ මතය අනුව නම් අධ්‍යාපනය කියන්නේ වැරැද්දෙන් නිවැරැද්දට යන එකක්. ඒ නිසා කුමන ආකාරයෙන් හෝ අධ්‍යාපනය ලබාදීම තමයි වැදගත්.

අපේ උසස් පෙළ දරුවන්ට දෙන Z - core ගැන මොනව ද හිතන්නේ?

කලා විෂයන් ගත්තම ලකුණු මත විශ්වවිද්‍යාලයට ගත්තොත් ඉතාම ලෙහෙසි විෂයන් තුනක් කරපු කෙනාට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා. තවත් විෂයන් ධාරාවන් තියෙනවා රටට යමක් කළ හැකි විෂයන්. ඒවා ටිකක් අමාරුයි. රටට ගැලපෙන විෂයන් ටිකක් තෝරාගත්තු ළමයට ලකුණු අඩු වුණාම දක්ෂ ළමයෙක් ගෙදර ඉද්දි. ඊට වඩා දුර්වල ළමයෙක් ලකුණු මත විශ්වවිද්‍යාලයට ගියා. ඒ නිසා Z - core එක ලකුණු මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම බොහෝ සෙයින් සාධාරණ ක්‍රමයක්.

එතැනදීත් කොළඹ ගම්පහ වගේ ළමයින්ට ඒ 3ක් අරගෙනත් විශ්වවිද්‍යාල යන්න බැරි වෙනකොට මොනරාගල වගේ පැත්තකින් ඊට වඩා අඩු සුදුසුකම්වලින් යනවා?

කොළඹ පාසල් ප්‍රමාණයයි, ඒවාට තියෙන පහසුකම් ප්‍රමාණයයි, ගුරුවරු ප්‍රමාණයයි, ආර්ථික මට්ටමයි ගත්තාම මොනරාගල ඒ තත්ත්වය නැහැ. අධ්‍යාපනයේ මූලික පදනමේ ඉදලම විසමතාවයක් තිබියදී උසස් පෙළටත් ඒ විෂමතාවය තියෙනවා. මූලික මට්ටමේ ඉදලව එන විසමතාවයට උසස් පෙළදීත් ඒ විසමතාවයට මුල්තැන දෙන්න ඕනෑ. ඒ නිසයි දිස්ත්‍රික් පදනම දීලා තියෙන්නෙ. ජාතික කුසලතාවයක් දීලා තිබියදීත් යන්න බැරි ළමයා මුල ඉදලම යම් පහසුකම් ටිකක් එක්ක එන කෙනෙක්.

අධ්‍යාපනයේ විසමතාවය හදන්න නේද දේශපාලනඥයෝ ඉන්නෙ?

මේ රටේ දේශපාලනඥයෝ පක්ෂ පාට බේදයකින් තොරව හැම තැනම කාලා තියෙන්නෙ. මම එන්නෙ කටුමැටි ගහපු ගෙදරක ඉදලා. මගේ ගෙදර හදලා තියෙන්නෙ අත්තම්මගෙ සොහොන උඩ. අපි ඒ දුක වින්දා. ඒ විඳපු දුක දන්න නිසා අපිට මේවා ගැන කැක්කුමක් තියෙනවා. හැමෝම මෙහෙම ඉන්නෙ නැහැ. තමන් යම් ආර්ථික මට්ටමක් හිමිකර ගත්තාට පස්සෙ ගමෙන් නගරයට යනවා. එතකොට ගම එතැනමයි. ඒ නිසානේ දේශපාලනඥයෝ ගමේ ඡන්දෙ අරන් කොළඹට ගිහින් ගමට එක දවසක් එන්නෙ. එහෙම වුණාම කොහොම ද මහජන ප්‍රශ්න විසඳන්නෙ. ඉස්සර දේශපාලනඥයෙක් ආවේ අරගල කරලා. හැබැයි දැන් එන්නෙ පරම්පරාවෙන්. ඒ අය මොනව ද කරල තියෙන සමාජ අරගලය.

අද දේශපාලනඥයාගේ පුතා ආසන සංවිධායක කමෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමයි පටන් ගන්නේ. එතැනින් පටන් ගත්ත දේශපාලනඥයාට සමාජය ගැන අවබෝධයක් නැහැ. ඇමැතිවරයෙක්ගෙ දරුවෙක් වෙලා ඉපදුණාම ග්‍රාමීය ජන ජීවිතය ගැන, ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඔවුන් දන්නෙ නැහැ. කලින් පරම්පරාවට උගත් කමට වඩා අරගල කරලා ලබාගත්තු නිපුණතාවයක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා අරගල කරපු තරම් ඊළඟ පරම්පරාව අරගල කරලා නැහැ. එහෙම ගිහින් ඔය කියන පරම්පරාවට මේ රටේ තීන්දු තීරණ ගන්න දේශපාලන බලය අතට ගත්තාම මීට වඩා අයහපත් තැනකට රට පත් වෙනවා.

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඔබේ මතය කුමක් ද?

යහපාලන ආණ්ඩු සංකල්පයේ ගමන් කරපු ආණ්ඩුව යහපාලන සංකල්පයෙන් පිට ගිහින් බිඳ වැටුණ නිසා තමයි පොහොට්ටු පක්ෂය නිර්මාණය වුණේ. මම පොහොට්ටුව දිනවන්න විශාල කාර්යය භාර්යයක් කළා. ආසන සංවිධායකකම ලැබෙන්නෙත් ඒ නිසයි. යහපාලනය අමු අමුවේ උල්ලංඝනය වන නිසා පාලනය එතැනින් ගලවන්න අපි කටයුතු කළා. නමුත් පොදුජන පෙරමුණටත් තනිව ජනාධිපතිවරණයක් දිනන්න බෑ. රනිල් විරෝධයක් තිබුණා වුණත් එජාප විරෝධයක් තවම මතුවෙලා නෑ. ඒ නිසා පොදුජන පෙරමුණ සහෝදරවරු රනිල් විරෝධය සහ එජාප විරෝධය කියන කාරණා දෙක හඳුනාගත යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ අදහස කුමක් ද ?

ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් හැර වෙනත් කෙනෙක් ආවොත් සුළු ජාතික ඡන්ද අතැරලා වාමාංශික කඳවුරටත් පොදුජන පෙරමුණ වන අපටත් කොහොමටවත් දිනන්න බැහැ. එහෙම දිනන්න නම් සුළු ජාතික ඡන්ද දිනන්න පුළුවන් කෙනෙක් අනිවාර්යයෙන් අපේ වේදිකාවට දාන්න ඕන. ගෝඨාභය ජනපතිවරණ වේදිකාවට නැඟ්ගොත් මල්ලි ජනපති, අයියා අගමැති, බැසිල් බලධාරියා, චමල් කතානායක හෝ ඇමැති කෙනෙක් වෙලා, නාමලුත් ඇමැති කෙනෙක් වුණොත් එජාප වේදිකාවේ දේශපාලන දැනුම තියෙන පිරිසත් එක්ක ආයෙත් වේදිකාවේ පවුල්වාදය ගැන කියන්න ගන්නකොට පොදුජන පෙරමුණට දිනන්න තියෙන පදනම මොකක් ද?

ඔය කියන්නේ පොහොට්ටුවයි ශ්‍රීලනිපය යි එකතු වෙන්නෙ නැතිව ජනාධිපතිවරණය දිනන්න බැහැ කියල ද?

පැහැදිලිව ම දිනන්න බැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ කියන පදනමෙන් නොයා තනි තනියෙන් මැතිවරණයට ගියොත් තත්ත්වය ඒකයි. ඒ නිසා පක්ෂවල ගැටලුව ඉතා ඉක්මනින්ම විසඳගන්න ඕනෑ.

ඔබ ඇතුළු කණ්ඩායම මීට කලින් පොහොට්ටුව දිනවන්න කටයුතු කළා නේද?

අපි බැලුවේ පොහොට්ටුව කියන එක නෙවෙයි. පවතින ආණ්ඩුව මහ බැංකුව කොල්ල කෑවා , අපි වගේ තරුණයෝ එකට එකතු වුණේ කලින් තිබුණ ආණ්ඩුවේ වංචා දූෂණ ඉහවහා ගිය නිසයි. ඒකට එරෙහි වෙලා බිහි කළේ යහපාලනය කියන ආණ්ඩුව. යහපාලනය කියන්නෙ ජනතාව පාලනය කරන බලධාරීන් සහ නීති රීති යහපත් වෙන්න ඕනෑ කියන එක. ඒ යහපත් තැනක් බලාගෙන ගෙනාපු ආණ්ඩුව මාස තුනක් යන්නත් කලින් මහ බැංකුව බින්ඳා නම් රටේ තරුණයෝ විදිහට අපි ගන්න ඕන තීන්දුව තීරණය තමයි පවතින පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඕන කියන එක. ඒක වෙනස් කරන්න අපට ඒකාබද්ධ විපක්ෂය කියන තැනට තල්ලු වෙන්න වුණා.

ජනතා විමුක්ති පෙරමුණ වගේ විකල්ප පක්ෂ තෝරා නොගත්තෙ ඇයි?

අපිට ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ වගේ බලවේගයක් දිනවන්න බැහැ. ආණ්ඩුවට රිද්දන්න නම් අපි ප්‍රාදේශීය සභා බලය පෙරළන්න ඕනෑ. එතැන ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ නෑ. අනෙක් කාරණය ජවිපෙ සමාජවාදී චින්තනය අද ලෝකයේ රටවල්වල නැහැ. ජවිපෙ ට අනුව පුද්ගලික වශයෙන් දේශපාලනය කරන හොඳ මිනිස්සු ඉන්නවා. එහෙත් ලෝකයම ගෝලීයකරණය වෙලා තියෙද්දී කොහොම ද සමාජවාදී චින්තනයෙන් ගමන් කරන්නෙ.

තිබුණ රජය පෙරළලා යහපාලන ගෙන ආව ඒ ආණ්ඩුව නැවත පෙරළලා හිටපු පාලකයෝම ගේන්න ඕන කියන එකද ඔබ කියන්නෙ?

ඒකාබද්ධ විපක්ෂය ගේන්න ඕන කියන තැන රටේ තරුණයෝ විශාල පිරිසක් හිටියා. මම හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න ඕන කියන තැන. හැබැයි පැවැති අවසාන ජනාධිපතිවරණ වේදිකාවට මම ගියේ නැහැ. ඒකට හේතු වුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හැසිරීම. මහින්ද මහත්තයා බලය ගත්තට පස්සේ ග්‍රාමීය වශයෙන් එක්තරා පිරිසක් ඒ බලය අනිසි ආකාරයට භාවිත කළා. ඒ ප්‍රාදේශීය දේශපාලනය නිසා තමයි ජනතාව ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළේ. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න ජනතාවට වුවමනාවක් තිබුණේ නැහැ.

පාර්ලිමේන්තුවේ තත්ත්වය ගැන උඹ දකින්නෙ කොහොම ද?

මේ රටේ පාසල්වල ඉන්න කුඩා දරුවෝ පවා මේ රටේ පාර්ලිමේන්තුව ඉතා ශෝචනීයයි කියන එක දන්නවා. දරුවෝ උඩ ඉන්නකොටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාෂාව ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම්, දරුවො ගැනත් නොහිතා තමන්ගේ ආවේගය පාර්ලිමේන්තුවේ පිට කරනවා නම් ඔවුන් මන්ත්‍රීවරු වෙන්න සුදුසු නැහැ.

මේ ගැන ජනතාව මොනව කියන්නෙ?

හොරු එපා, කසිප්පු කාරයෝ එපා, කුඩුකාරයෝ එපා කියලා ජනතාව කියනවා. ඒත් ඡන්දයකදී ආපහු කුඩුකාරයෝ , කසිප්පුකාරයෝ මැරයෝ පාර්ලිමේන්තුවට ගිහින් මිනිස්සු කියයි රටට ආදරේ, උගත්, බුද්ධිමත් තරුණයෝ රටේ දේශපාලනයට ඕනෑ කියයි. ඡන්දෙ දීලා තියෙන විදිහ බැලුවොත් සල්ලි බෙදපු , රැල්ලට ගියපු කෙනාට ඡන්දෙ දීලා. ඒ නිසා ජනතාවගේ මේ පුරුද්ද නැති කරන්න ලෙහෙසි නැහැ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළේ ඔය කියන කාරණය හින්දා නේද?

දැන් බලන්න මේ ආපු මැතිවරණ ක්‍රමය තුළ පත් කළ මන්ත්‍රීවරු ආසන සංවිධායකලා පත් කරලා තියෙන්නෙ කුමන නිපුණතාවයක් මතද? කාර්යයශූරත්වය බලලා තියෙනවා ද? මේ ක්‍රමයට වඩා තිබුණ මනාප ක්‍රමය හොඳයි. අඩුම තරමේ දක්ෂ කථිකත්වයක් තියෙන කෙනෙක් හරි ඉස්සරහට යයි. අලුත් ක්‍රමයට කාන්තා නියෝජනය එකතු කළා වගේ, තවත් උපාධිධාරින් හරි උසස් පෙළ සමතුන් හරි ඇතුළත් කරන්න ඕනේ. උගත් අයම පාර්ලිමේන්තු යන්න ඕන කියන්නෙ නැහැ. ඊට වඩා වැඩ කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒත් උගත් යම්කිසි පිරිසක් ඉන්න ඕන.

දුමින්ද අලුත්ගෙදර


නව අදහස දක්වන්න