සිදුවූ දේ අතිශය දුක්බරයි එහෙත් එය තවත් අයකුට තර්ජනයක් කර ගන්න එපා | දිනමිණ

සිදුවූ දේ අතිශය දුක්බරයි එහෙත් එය තවත් අයකුට තර්ජනයක් කර ගන්න එපා

සිතාරා සේනානි

ඇතිවූ අවාසනාවන්ත සිදුවීම හේතු කර ගනිමින් කිසිදු අයකුට කරදර සිදු නොකරන ලෙස කතෝලික ක්‍රිස්තියානි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති.

සිදුවූ දේ අතිශයින්ම දුක්බර මෙන්ම, කනගාටුදායක වුවද තවත් අයකුට තර්ජනයක් එල්ල කිරීමට එය හේතුවක් නොවිය යුතු බවද උන්වහන්සේ පවසති.

අගරදගුරු හිමියෝ මෙසේ පැවසුවේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවෙසේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.

මේ සිද්ධිය මුල් කොට ගෙන එක් ජන කොට්ඨාසයකට යම් කිසි තර්ජනයක් එල්ලවී තිබෙන බවට මෙහිදී ප්‍රකාශ වුණා. ඒ නිසා මම විශේෂයෙන් ම අපේ කතෝලික හා ක්‍රිස්තියානි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කිසිම කෙනෙකුට අත තියන්න යන්න එපා, කිසිම කෙනෙකුට කරදරයක් කරන්න යන්න එපා කියලා.

සිදුවූ දේ ඇත්ත වශයෙන් ම දුක්බරිතයි, කනගාටුදායකයි නමුත් ඒක අපට හේතුවක් නෙවෙයි තවත් කාටහරි ඒ වගේ තර්ජනයක් කරන්න. මොකද අපි ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සහ උත්ථානය සිහිපත් කළා පසුගිය සතියේ. උන්වහන්සේ කුරුසියේ එල්ලා සිටින විට, තමන් කුරුසියේ තබා ඇණ ගැසූ අයට සමාව දී ඔවුන් වෙනුවෙන් යාච්ඥා කළ බව ක්‍රිස්තු භක්තිකයන් හැම දෙනාම දන්නා දෙයක්. ඒක තමයි අපට තිබෙන එකම ආදර්ශය. අපට කරදරයක් කළාට අපි කාටවත් කරදර කරන්න හොඳ නෑ.

අනෙක් කාරණය අපි දන්නේ නෑ කවුද මේ සිද්ධිය පිටුපස ඉන්නේ කියලා. විශේෂයෙන් ම මේවැනි සිදුවීම්වල උඩින් පෙනෙන දේට වඩා යටින් තිබෙන ඒවා මොනවාද කියා අපට පේන්නේ නෑ. එය හරියට දිය මත තිබෙන අයිස් කුට්ටිය මතුපිටින් තිබෙන දේ පෙනුණත් යටින් තිබෙන දේ හරියට පේන්නේ නෑ වගේ.

මේ සිදුවීම් පිටුපස සිටින ඒ අවාසනාවන්ත තරුණ උදවිය වගේම ඒ අවාසනාවන්ත කණ්ඩායම පිටුපස තවත් ලොකු කණ්ඩායමක් ද ඉන්නවා ඇති. සමහර විට ඒ අය මේ කියන ජාතීන්ට අයත් නොවන අය වෙන්න පුළුවන්. ඒ නිසා කලබලේට එක එක අයට හිරිහැර කරන්න මේක අවස්ථාවක් කර ගත යුතු නෑ. ඒ දේ අපට ආගමික වශයෙන් සාධාරණීකරණය කරන්න බෑ. අපට දුකක් එල්ල වුණා, අපි ඒ දුක ඉවසීමෙන් යුතුව ගෞරවාන්විතව දරා ගනිමු. ඒක තමයි ක්‍රිස්තියානින් වශයෙන් අපේ වගකීම විය යුත්තේ. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා තමන්ගේ අසල්වාසීන් කිසිම කෙනෙකුට කරදරයක් නොකර මෘත දේහ භූමදානය කිරීමේ කටයුතු අවසන් කර යථා තත්ත්වයෙන් සමාදානයෙන් නැවත වරක් අපි එකිනෙකා සමඟ එකතු විය යුතුයි කියලා.

ඒ වගේම, මේ රටේ නීතිය කියන දේ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. රටක හැම දෙනාට ම පොදු නීතියක් තිබිය යුතුයි. කෙනෙක් වරදක් කළා නම් ඒ සඳහා ඔහුට දඬුවම් පැමිණවීම නීතියේ වගකීමයි. එක එක්කෙනාට හිතෙන හිතෙන විදිහට දඬුවම් කරන්න යන්න බෑ. අපට නීතිය අතට ගන්න බෑ. මේ වෙලාවේ අදාළ පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම නීතිය ක්‍රියාත්මක කරන අයට අයිති කටයුත්තක්. ඒ අය එය ඉටු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. අපි ඒ සඳහා ඒ අය ශක්තිමත් කරනවා.


නව අදහස දක්වන්න