මම උත්සාහ කරන්නේ මතක හිටින යමක් කරන්නයි | දිනමිණ

මම උත්සාහ කරන්නේ මතක හිටින යමක් කරන්නයි

කාශ්‍යප දිසානායක

ගායන ශිල්පී කාශ්‍යප දිසානායකගේ හඬින් ගැයෙන “සිහින් සිනා” ගීතය, එහි සොඳුරු රූපරචනයත් සමඟින් මේ දිනවල රසික දෙසවන, දෑස පිනවන්නේ සතුටුදායක ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ය. මේ ඒ සොඳුරු නිර්මාණය පිළිබඳ ඒ හඬේ හිමිකරු කාශ්‍යප හා කෙරුණු සුහද සංවාදයයි.

අලුත් සිංදුවට නම් ප්‍රතිචාර වැහි වැහලා වගේ?

“සිහින් සිනා” මුලින් ම එළියට ආවේ “Kashyapa Dissanayaka” නමින් තියෙන මගේ ම යූ ටියුබ් චැනල් එකකින්. දැනට ලක්ෂ දෙකක් විතර ප්‍රේක්ෂකයින් ඒ මියුසික් වීඩියෝ එක යූ ටියුබ් එකෙන් බලලා තියෙනවා. ලැබෙන ප්‍රතිචාර නම් බොහොම සතුටුදායකයි. චන්දන දසනායක තමයි මේ සිංදුව ලියුවේ. දුලීක කෝදාගොඩ සංගීතවත් කළා. රූපරචනය සමීර කපුකොටුවගෙන්. රූපරචනයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගීත්මා බණ්ඩාර සහ චම්පික ප්‍රියදර්ශන. දැන් තියෙන මියුසික් වීඩියෝ ගොඩක් ම අනවශ්‍ය දේවල් පෙන්නලානේ මිනිස්සු අතරට අරන් යන්න උත්සාහ කරන්නෙ. එතනදි මට ලැබුණ ලොකුම අභියෝගය තමයි මිනිස්සු කැමති විදිහේ නිවැරදි යමක් කරලා, මිනිස්සු අතරට යන එක. මම හිතනවා මේ නිර්මාණය සාර්ථකයි කියලා. කැමරා ශිල්පියා, අධ්‍යක්ෂකවරයා, කලා අධ්‍යක්ෂකවරයා ඇතුළු මේ නිර්මාණය පිටුපස සිටි හැමකෙනෙක්වම තෝරගත්තෙ මගේ කැමැත්ත අනුව. හිතට හොඳයි කියලා හිතෙන, දක්ෂ පිරිසක් එකතු කරගෙන, හිතේ තිබුණු විදිහට ම මේ නිර්මාණය කරගන්න මට පුළුවන් වුණා.

මේ ගීතය ඔබට ලැබුණු ආකාරය ගැන කතා කළොත්?

චන්දන දසනායක කියන්නේ මගේ අයියා කෙනෙක්. එයා මේ සිංදුව කාටවත් දෙන්න ලියපු එකක් නෙවෙයි. එයාගේ දිනපොතක ලියලා තියෙනවා දැකලා තමයි මම ඔය සිංදුව ඉල්ලුවේ. ඒක අවුරුදු ගාණකට උඩදි ලියපු එකක්. සිංදුවේ වචන ටික දැක්කම මට හරි ආස හිතුණා. ඒ පද රචනය ලස්සනයි. ඉතිං මං කිව්වා මේ සිංදුව නම් මං අනිවාර්යෙන් ම කවදා හරි කරනවාමයි කියලා. අන්තිමේදී මං ඒක කළා. ඒ වුණත් ඒ සිංදුවට පදනම් වුණු අත්දැකීම ගැන නම් මම දන්නෙ නෑ. ඒක මම කියවලා, කැමති වෙලා, ඉල්ල ගත්ත සිංදුවක්.

ගීතයේ රූපරචනය වෙනුවෙන් පොරමඬුල්ල ගම්මානය තෝරගැනීමට විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තට ම ඔව්. පොරමඬුල්ල කියන්නෙ හඟුරන්කෙත පැත්තට වෙන්න තියෙන ගමක්. නුවර ඉඳන් කිලෝමීටර් 38ක් විතර යන්න ඕනෙ. ඒ පැත්තෙ මං හිතන විදිහට මියුසික් වීඩියෝ එකක් වගේ දෙයක් කරලම නෑ. මම ඉගෙනගත්තෙත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉතිං මගේ ඉස්කෝලෙත් සම්බන්ධ කරගෙන මේ මියුසික් වීඩියෝ එක පොරමඩුල්ලෙ ම කරන්න ඕනෙ කියලා මට හිතුණා. මියුසික් වීඩියෝ එක එහේ කරන්න ගත්තු තීරණය නිසා මට දරන්න වුණ වියදමත් වැඩි වුණා. මොකද කොළඹ ඉඳන් අපේ නිෂ්පාදන කණ්ඩායම එහේ අරන් යන්න ඕනෙනෙ. මේ නිර්මාණයෙදි ගමේ අයත් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය ඇතුළු ඉස්කෝලෙ ළමයිනුත් ලබා දුන්න සහයෝගය නම් කියලා නිම කරන්න බෑ. කොහොම වුණත් මට ආස හිතුණා ඉස්කෝලෙ එහෙම යමක් කරන්න. නමුත් නැවත වතාවක් නම් මම හිතන්නෙ නෑ මම ගමට ගිහින් මියුසික් වීඩියෝවක් කරයි කියලා. මොකද ඒක හරි දුෂ්කර වැඩක්. නමුත් මම මේ නිර්මාණයේ දී ඒ අවදානම අරගත්තා. එහෙම අවදානමක් ගත්තා කියලා මට කිසිම පාඩුවක් වුණෙත් නෑ. නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණා හැමෝගෙම උදව්වෙන්. ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳයි. මං ඉගෙනගත්ත ඉස්කෝලෙ වෙනුවෙනුත් මට යමක් කරන්න ලොකු ඕනකමක් තිබුණා. දුෂ්කර පළාතක් නිසා,ඒ පැත්තෙන් ළමයි නිර්මාණයක් කරන්න හරි එළියට එන්නෙ අතලොස්සක්නෙ. මට ඕනෙ වුණේ ඒ අයටත් පණිවිඩයක් දෙන්න. දක්ෂතාවය තියෙනවා නම් උනන්දුවෙන්, කැපවීමෙන් ඉදිරියට එන්න පුළුවන්, හිරවෙලා ඉන්නෙ නැතුව ගමෙන් එළියට ඇවිත් අලුත් යමක් කරන්න කියන එකයි මට ඒ අයට කියන්න ඕනෙ වුණේ. ගමේ හැමෝගෙමත් උදව්වෙන් මේ නිර්මාණ කටයුත්ත සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වුණා. නම් වශයෙන් සඳහන් නොකළත් ඒ හැමෝටම මං හදවතින් ම ස්තූතිවන්ත වෙනවා.

මින් පෙරත් ඔබේ ගීත කිහිපයක් ජනප්‍රිය වුණා?

මගේ පළවෙනි සිංදුව විදිහට කළේ “අහසට සොඳුරුද සඳ කෙතරම්”. ඒ ගීතය මම ගායනා කළේ නෙලූ අධිකාරි මහත්මිය එක්ක. ඒ ගීතයේ දී මට වැඩියෙන් ම උදව් කළේ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වුණු වෛද්‍ය දේවක රත්නපාල. පද රචනය කළේ ප්‍රවීණ ගී පද රචක ආනන්දහේවා රන්හිඳගේ. එතුමා දැන් අපි අතර නෑ. ඔහුවත් මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරන්න ඕනෙ. “අහසට සොඳුරුද සඳ කෙතරම්”කියන්නෙ මෑත ඉතිහාසයේ බිහිවුණ අමතක නොවන ගීතයක්. ඉස්සර අපේ හිටපු ප්‍රසිද්ධ ගායන ශිල්පීන් හැමෝගෙම සිංදු අදටත් අමතක නොවන ඒවානෙ. මං හිතනවා අහසට සොඳුරුද ගීතයත් ඒ වගේ එකක් කියලා. කවදාවත් මැකෙන්නෙ නෑ. තාමත් කිව්ව ගමන් කවුරුත් දන්නවා. හැමෝම ආදරය කරනවා. ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න මං ගොඩක් කැමතියි. මගේ ඊළඟ සිංදුව වුණේ “ජීවිතේ පුරා”. ඒ සිංදුව ලිව්වෙ උදය රුවන්. ගායනා කළේ මමයි උරේෂා රවිහාරියි. ශිවශංඛ තමයි මියුසික් කළේ. මගේ තුන්වෙනි සිංදුව “ඈ දෑ සිනා” ලියුවේ ශෙහාන් ගලහිටියාව. මියුසික් කළේ සංඛ දිනෙත්.

සංගීතය පැත්තට හැරෙන්න හිතුවෙ ඇයි?

ඒක ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ම තිබුණු ආසාවක්. මගේ පාසල පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය. ඉස්කෝලෙදිත් සංගීතය පැත්තෙන් බොහෝ දේවල්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම මගේ ජීවිතයේ නිතරම අභියෝග භාරගන්න කැමති කෙනෙක්. ලංකාවේ ගොඩක් ම ඉන්නවා පවුල් පසුබිමෙන් ලැබුණු සංගීත අභාසයක් එක්ක ඉදිරියට ආව ගායක ගායිකාවන්. ගොඩක් වෙලාවට ඒ අයට අවස්ථාව ලැබෙනවා වැඩියි. මගේ පවුලේ නම් සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට ආව කවුරුත් නෑ. මට තිබුණෙ එහෙම පවුල් පසුබිමක් නෙවෙයි. නමුත් මගේ තාත්තට හොඳට සිංදු කියන්න පුළුවන්. මං හිතන්නෙ තාත්තගෙන් ලැබුණු ඒ හැකියාවත් එක්ක තමයි මං අද මෙතනට ඇවිත් ඉන්නෙ. මේක උනන්දුවෙන්, වුවමනාවෙන් වගේ ම ගොඩක් කැමැත්තෙන් ආව ගමනක්.

සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තුව?

සිංදු කියන්න මම ගොඩක් කැමතියි. ඒ වුණත් මට ඕනෙ මගේ ගීත ගොන්නට තව ගීත ගොඩක් එකතු කරගන්නවා වෙනුවට, මිනිස්සුන්ට මතක හිටින විදිහේ, මිනිස්සුන්ට විඳින්න පුළුවන් විදිහෙ හොඳ නිර්මාණ කිහිපයක් රසිකයින්ට දීලා, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන්නයි. අද වෙනකොට නිර්මාණයක නිර්මාණාත්මක බවටත් කලා රසයටත් වැඩියෙන් වෙනත් වෙනත් දේවලින්නෙ ප්‍රේක්ෂකයින්ව නිර්මාණයකට ඇදගන්න හදන්නෙ. එහෙම නැතුව සැබෑ ලෙස ම මිනිස්සුන්ට විඳින්න පුළුවන් ගීත නිර්මාණය කරන්නයි මම උත්සාහ කරන්නෙ. මට ඕනෙ ගොඩක් නෙවෙයි, මතක හිටින විදිහෙ නිර්මාණ ටිකක් කරන්නයි.

තරුණ ගායකයෙක් විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන ඔබේ අදහස?

අපේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට ගොඩක් උදව් ලැබෙනවා. ඔවුන්ගේ උදව් නැතුව නම් මේ වගේ ක්ෂේත්‍රයක දුර ගමනක් යන්න අමාරුයි. ඒ නිසා ඒ අයගෙන් ලැබෙන සහයෝගය මම හදවතින් ම අගය කරනවා. ක්ෂේත්‍රය තුළ මුණගැහෙන ප්‍රවීණයන් වගේ ම නවකයින් පවා බොහෝ දෙනෙක් මට උදව් කරනවා. ඒක ලොකු සතුටක් වගේ ම ශක්තියක්, මේ ගමනට.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න