හදිසි නීතිය! | දිනමිණ

හදිසි නීතිය!

ජාතික ආරක්ෂක මණ්ඩලය රටේ ආරක්ෂාවට අදාළ වැදගත් තීන්දු කිහිපයක් ගෙන තිබේ. එයින් වඩාත් කැපී පෙනෙන තීන්දුව වන්නේ ත්‍රස්ත මර්දන වගන්ති හදිසි නීතිය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම ය. නිදහස්-සාමකාමී රාජ්‍යයකට ත්‍රස්ත මර්දන වගන්තිවලින් වැඩක් නැත. එහෙත් ත්‍රස්තවාදයේ හා අන්තවාදයේ අවතාර හොල්මන් කරන විට එම වගන්ති නැවත ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මේ අනුව පොලිසියට හා හමුදාවට අවශ්‍ය ස්ථාන පරීක්ෂාවට මෙන් ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද අවස්ථාව හිමිවනු ඇත. හමුදාපතිවරයා කියා සිටියේ තමන් ඒ බලය ලැබෙනතුරු බලා සිටි බව ය.

ලෝකයේ දරුණු ම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කළ අත්දැකීම් අපේ හමුදාවට තිබේ. තිස් වසරක යුද්ධයකට මුහුණ දුන් අත්දැකීම් පොලිසියට තිබේ. මේ හැරෙන්නට අපේ රටේ ජනතාව ද විවිධ සිදුවීම්වලට මුහුණ දී අත්දැකීම් ලබාගෙන තිබිණි. තමන් අවට පරිසරය ගැන ඉතා හොඳ නිරීක්ෂණයකින් පසුවන්නට අපේ ජනතාව පුරුදු වී සිටියහ. යුද්ධය අවසන් වී දසකයක් ගෙවී යෑමටත් පෙර ඒ සියල්ල අමතක කළ බවක් දකින්නට තිබේ. ජනතාවගේ අවධානය හා නිරීක්ෂණය ප්‍රබල වූයේ නම්; සැකකරුවන් මීට පෙර අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබිණි.

සිදු වූ විනාශයේ වගකීම ජනතාව භාරගත යුතු යැයි අප කියන්නේ නැත. විනාශය සිදු වී ඇත්තේ ජනතාවට යැයි කිව හැකි ය. ඒ අනුව කුමන හෝ පාර්ශ්වයකින් යම් වැරැද්දක් සිදු වී ඇති බව ද පෙනෙයි. එකිනෙක පාර්ශ්ව අනෙකාට ඇඟිල්ල දිගු කරන හා චෝදනා ඉදිරිපත් කරන විලාසයක් දක්නට ලැබේ. මේ කිසිවකින් දැන් පලක් නැත. දැන් වගබලාගත යුත්තේ ඉදිරියේ ඇතිවිය හැකි විනාශයන් වළක්වා ගැනීමට ය. ඇතැම් ආරංචියකින් කියැවෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දහතුන්දෙනකු කොළඹට පැමිණ ඇති බව ය. එහෙත් ප්‍රහාර ක්‍රියාත්මක වී ඇත්තේ නමයක් පමණි. ඉන් කියැවෙන්නේ තවත් හතරදෙ‍නකු ඉතිරි බව ය.

ත්‍රස්ත මර්දන වගන්ති හා හදිසි නීතිය උපයෝගී කරගෙන අවශ්‍ය සෝදිසි මෙහෙයුම් කළ හැකිය. යුද්ධය පවතින සමයේ එබඳු වැටලීම් දිගින් - දිගට ම සිදු කැරිණි. ඒ මඟින් බොහෝ විනාශ වළක්වා ගත හැකි විය. එහෙත් පසුගිය කාලය තුළ එබඳු වැටලීම් සිදුකිරීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් අන්තවාදීන්ට සංවිධාන වීමට මෙන් ම පුපුරණ ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරීමට ද අවශ්‍ය පසුබිම සැකැසී තිබිණි. හදිසි නීතිය යටතේ රටක් පාලනය වීම සුදුසු නැත. ඒ මඟින් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වේ. එහෙත් ගැටුම් පවතින රටක් පාලනය කිරීම සඳහා තාවකාලික ලෙස හෝ හදිසි නීතිය පැනවිය යුතුය.

ඊයේ ජාතික ශෝක දිනයක් ලෙස පැවැතිණි. ශෝක දිනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණය ද පැසසුම් කටයුතුය. පාප් වහන්සේ ලෝක ජනතාව අමතමින් කියා සිටියේ අප ශ්‍රී ලංකාව සමඟ ශෝකය බෙදාගත යුතු බවය. එලෙස ම ශ්‍රී ලංකාව තනි නොකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කළහ. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වන බව ය. ඉන්දියාවේ අගමැතිවරයා පවා ඒ බව කියා ඇත. ලෝකයේ බොහෝ නායකයන් අවංක ලෙස ම ශ්‍රී ලංකාව දෙස බලන බවක් පෙනී යයි. මෙබඳු සන්දර්භයක් තුළ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීම කාලෝචිත ය.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් පමණක් නො ව; විදේශීය පුරවැසියන් ද මේ ප්‍රහාර මාලාවට ලක්වූ බව රහසක් නො වේ. ලොව ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ද ප්‍රහාරයට ගොදුරු වූ බව වාර්තා විය. කෙනකුගේ දරුවන් මිය ගොසිනි. තව කෙනකුගේ බිරිය මිය ගොසිනි. තවත් කෙනකුගේ සැමියා මිය ගොසිනි. විදේශිකයන්ගේ මළසිරුරු තිස් ගණනක් හඳුනාගෙන ඇත. හඳුනා නොගත් අය සේ ම අතුරුදන් ලෙස සලකන අය ද සිටිති. ඉන්දියාව, තුර්කිය, නෙදර්ලන්තය, අමෙරිකාව වැනි රටවල සංචාරකයන් අනතුරට ලක්වූවන් අතර සිටින බව වාර්තා වී ඇත. මේ අය වෙනුවෙන් ශෝකය පළකිරීමේ විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ජාතික‍ ශෝක දිනය ඊට හොඳින් ගළපාගෙන තිබිණි.

විදේශීය සංචාරකයන් මිය යෑමත් සැලකිය යුතු පිරිසක තුවාල ලැබීමත් සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුකරනු ඇත. එය අප ඉදිරියෙහි ඇති බලවත් අභියෝගයකි. එක අතෙකින් ශ්‍රී ලංකාව හොඳ ම සංචාරක ස්ථානයක් ලෙස ලෝකය පුරා ප්‍රකට වෙමින් පැවැතියේ ය. තව අතෙකින් සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. මේ වාසිදායක තත්ත්ව දෙක ම දැන් කණපිට‍ පෙරැළෙන්නට පුළුවන. පිපිරීම් සිදුවන මොහොතේ සිටි සංචාරකයෝ ගමන් අවලංගු කොට සිය රටට ගියහ. අනාගත සංචාර පවා මේ පිපිරීම් නිසා අත්හිටුවා ඇත. සංචාරක කටයුතුවල ප්‍රවර්ධනය සඳහා බලවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. නැතහොත් සංචාරක කර්මාන්තය ‍ගොඩගැනීම අසීරුය.

සියල්ලට කලින් ආරක්ෂාව තහවුරු කර ගත යුතුය. ආරක්ෂාවක් නැති රටකට සංචාරකයන් එන්නේ නැත. ආයෝජකයන් එන්නේ ද නැත. දැන් අපට සිදු වී ඇත්තේ අළු - දූලි මතින් නැඟී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ය. විනාශ වූ දේවස්ථාන මෙන් ම සංචාරක ‍හෝටල් ද නැවත පිළිසකර කළ යුතු ය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය දේවස්ථාන පිළිසකර කිරීමට ඉදිරිපත් වී සිටී. සංචාරක හෝටල් අදාළ සමාගම් විසින් නැවත ඉදිකරනු ලැබේ. එම සමාගම්වලට සහන අවශ්‍ය නම්; ඒවා ලබාදීමට රජය ඉදිරිපත් විය යුතුය. සංචාරක හෝටල් නැතිව සංචාරක කර්මාන්තයක් පවතින්නේ නැත. එබැවින් හෝටල් ක්ෂේත්‍රය ශක්තිමත් කොට එහි ආරක්ෂාව ද තර කළ යුතු ය.

තිස් අවුරුදු යුද්ධය, සුනාමි විපත හා තවත් බොහෝ ඛේදවාචක අපට පෙන්වා දෙන වැදගත් ම පාඩම වන්නේ සාමූහිකව ඒවාට මුහුණ දීම වඩාත් වැදගත් ක්‍රමය බව ය. ඒ අනුව චෝදනා කිරීම හා කඹ ඇදීම නවතා සහයෝගයෙන් අර්බුදයට මුහුණ දෙන්නට කවුරුත් අධිෂ්ඨාන කරගත යුතු වේ.

 


අදහස් 1ක් ඇත

Appreciate Thanks

නව අදහස දක්වන්න