බාධක දිවීමේ ලෝකඩ පදක්කම ගිලිහී යයි | දිනමිණ

බාධක දිවීමේ ලෝකඩ පදක්කම ගිලිහී යයි

ප්‍රින්ස් ගුණසේකර
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී නිලානී රත්නායක සහභාගීවූ මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ අවස්ථාවක් ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර

මී. 200න් හිමාෂ අස්වෙයි: ජනක-ධනුෂ්ක අවසන් තරගයට

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බහරේන් ක්‍රීඩිකාව සමග අවසන් මීටර් 50 දක්වා කරට කර සටනක නිරතවූ නිලානී රත්නායක හදිසියේම ධාවන පථයේ ඇද වැටීමෙන් සිවුවැනි ස්ථානයට පත් වූවාය. කලීෆා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ අවසන් මීටර් පනහේදී දකුණු පසින් බහරේන් ක්‍රීඩිකාව පසු කිරීමට නිලානී ගත් ප්‍රබල උත්සහයේදී සමබරතාව ගිලිහී ගොස් ඇය සම්පූර්ණයෙන්ම ඇද වැටුණු අතර තත්පර කිහිපයකදී නැවැත නැගිට තරගය අවසන් කළද එවිට සියල්ල සිදුවී හමාර විය.

නිලානී රත්නායක ක්‍රීඩිකාවන්ගේ පොකුරෙන් මිදී අවසන් මීටර් 200දී ඉදිරියට පැමිනීමෙන් තරගයේ වේගය වැඩි වුණි. මේ හේතුවෙන් රන් පදක්කම දිනාගත් බහරේනයේ මුටීල් වින්ෆ්‍රීඩ් (මි. 9:46.18) හා රිදී පදක්කම දිනාගත් චීනයේ ෂුවන්ග් ෂී (මි. 9:51.78) පියවර කිහිපයක් ඉදිරියට ඇදුණු අතර තෙවැනි තැනට නිලානී හා ලෝකඩ පදක්කම දිනාගත් බහරේනයේ ටයිගස්ට් මෙකොනෙන් (මි. 9.53.96) අතර උණුසුම් සටනක් නිර්මාණය වුණි. වැටී වැටී නැගිට තරගය නිමකළ නිලානී ගතකළ කාලය වූයේ මිනිත්තු 9.58.55ක් ලෙස සිවුවැනි ස්ථානයටය.

නිලානී රත්නායක තරගයෙන් අනතුරුව පැවැසූවේ ඇතිවූ තත්ත්වය පිළිබඳ විශාල කනගාටුවකින් පසුවන බවයි. “තෙවැනි තැනට පැමිණි බහරේන් ක්‍රීඩිකාව මට තරගයේ යෙදෙද්දී කීහිපවතාවක්ම අතින් පහර දුන්නා. මා කණ්ඩායමේ කළමනාකාරීත්වය සමග කතාකොට ඒ ගැන විරෝධතාවක් ඉදිරිපත් කරනවා” නිලානී රත්නායක සඳහන් කළාය.

මේ අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට එක්වූ ජනක විමලසිරි මීටර් 7.57කින් හා ධනුෂ්ක සඳරුවන් මීටර් 7.53කින් අද පැවැතවෙන අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාකර ගත්තේය.

ඊයේ පෙරවරුවේ මීටර් 200 සුදුසුකම් ලැබීමේ ඉසව්වට සහභාගීවීමේ අපේක්ෂාවෙන් සිටි හිමාෂ ඒෂාන් අවසන් මොහොතේ තරගයට සහභාගී නොවීමට තීරණය කළේය. ඔහුගේ ප්‍රමුඛතම ඉසව්වවූ මීටර් 100 තරගයේදී බලාපොරොත්තු නොවූ පසුබැසීමකට ලක්වීම හේතුවෙන් හා කලීෆා ක්‍රීඩාංගණයේ මොන්ඩෝ ධාවන පථයේ ඔහුට අපේක්ෂා කළ පරිදි සහයෝගයක් නොමැති වීමෙන් මේ තීරණයට එළැඹ ඇත. දෝහා කලීෆා ක්‍රීඩාංගණයේ මීටර් 200 මූලික තරග වටය හා අවසන් පූර්ව වටයේ තරග ඊයේ අවසන් වුණි.

හිමාෂ ඒෂාන් මේ තරගාවලියට මීටර් 100 ඉසව්වට පමණක් පැමිණියද මීටර් 200 ඉසව්වට අලුතින්ම නම ඇතුළත්කර ගැනීමට පියවර ගත්තේය. ඔහු සමග මීටර් 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ද මීටර් 1500 ඉසව්වට අලුතින් ඇතුළත් වීමට තීරණය කළාය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 රන් කිරුළ දිනා වේගවත්ම ක්‍රීඩකයා ලෙස තත්පර 10.10කින් තරගය නිමකළ ජපානයේ යොෂීහීඩ් කිරියූ හා වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තත්පර 11.17ක කාලයක් වාර්තා කළ කසකස්තානයේ ඔල්ගා සැරෝනෝවා සම්මානයට පාත්‍ර වූහ. මේ දෙදෙනා ලබන සැප්තැම්බර් මාසයේ දෝහා හීදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්හ.

මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර 10. 51කින් තරගය නිමකොට ඉවතට විසිවූ හිමාෂ ඒෂාන් ගෙවී ගිය කාලයේ වාර්තා කළ දුර්වලම කාලය ලෙස මෙය වාර්තා පොතට එක්විය. ඔහු මේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලයට පැමිණීමට මාසයකට පමණ පෙර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගයේදී ශ්‍රී ලංකා වාර්තාවක් ද සමග තත්පර 10.22කින් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.

“කලීෆා ක්‍රීඩාංගණයේ මොන්ඩෝ ධාවන පථයේ ධාවනය කිරීම තරමක් මට අපහසු වුණා. ඒක තරමක් දුෂ්කර වැඩක් වුණා” හිමාෂ ඒෂාන් මාධ්‍ය වෙත පැවැසීය. එහෙත් හිමාෂ සහාගීවූ මීටර් 100 තරගයේදී ක්‍රීඩකයන් තිදෙනකු තම පෞද්ගලික හොඳම දක්ෂතාව පෙන්වමින් ක්‍රීඩා දිවියේ හොඳම කාලයන් වාර්තා කිරීම කැපී පෙණුනි. එමෙන්ම මීටර් 100 කාන්තා තරගයේදීද මේ තරග වාරයේ හොඳම කාලය ක්‍රීඩිකාවන් තිදෙනකු සටහන් කරමින් ඉදිරියට පැමිණ තිබිණි.

හිමාෂ ඒෂාන් හා ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරේරා මහතා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන්ම අවශ්‍ය පුහුණුවීම් උදෙසා සති දෙකකට පමණ පෙර දෝහාහී පුහුණුව ලැබුවද ප්‍රතිඵල නෙලා ගැනීමට වාසනාව උදා නොවුණි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව සතුව තිබූ මීටර් 800 රන් ආධිපත්‍ය ඉන්දීය ක්‍රීඩිකා ගෝමතී මාරිමුත්තු (මි. 2:02.70) විසින් උදුරා ගැනීම පෙරේදා දිනයේ තවත් කතාබහට ලක්වූ සිදුවීමකි. මීටර් 800 අවසන් තරගයේදි ගයන්තිකා අබේරත්න මිනිත්තු 2:05.74කින් සිවුවැනි ස්ථානය හා නිමාලී ලියනාරච්චි මිනිත්තු 2:08.69කින් හත්වැනි ස්ථානයට පත්වූ අතර මේ දෙනොම අවසන් වරට ඉන්දියාවේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් හා රිදී පදක්කම් දිනා ඉදිරියෙන්ම සිටියහ. මේ තරගයේ රිදී පදක්කම නිමාවූ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා සිටි චීනයේ චුන්යා වෑන්ග් මිනිත්තු 2:02.96කින් දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දුනීසියානු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා සිටි කසකස්තානයේ මාගරීටා මුකාෂීවා මිනිත්තු 2:02.7කින් දිනා ගත්තාය.

තුම් පිම්ම පිරිමි අවසන් තරගයේදී ග්‍රේෂන් ධනංජය මීටර් 16.16කින් 6වැනි ස්ථානයට පත්වූ අතර ඔහුද මෙයට මාසයකට පමණ පෙර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගයේදී මීටර් 16.71කින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකර තිබිණි. මෙහි රන් පදක්කම උස්බෙකිස්තානයේ රුල්ෂාන් කුර්බනෝව් මීටර් 16.93කින්, රිදී පදක්කම චීනයේ යෑමින්ග් ෂූ මීටර් 16.87කින් හා ලෝකඩ පදක්කම චීනයේම ෂියැලෝග් ෂූ මීටර් 16.81කින් වාර්තා කළහ.

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ මීටර් 73.50කින් 8වැනි ස්ථානයට පත්වූ අතර හෙතෙම ශ්‍රී ලංකාවේදී හෙල්ල විසිකිරීමේදී මීටර් 83.04ක දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. දෝහා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම චීන තායිපේ ක්‍රීඩක තුන් චාඕ මීටර් 86.72කින්, රිදී පදක්කම ඉන්දියාවේ ෂිව්පාල් සිං මීටර් 86.23කින් හා ලෝකඩ පදක්කම ජපානයේ රොහෙයී අරායී මීටර් 81.23කින් දිනා ගත්හ.

ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර


ශ්‍රී ලංකාවට ආසියානු පදක්කමක් විදූෂා දිනා දෙයි

දෝහා කටාර් කලීෆා ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී විදූෂා ලක්ෂාණී තුම් පිම්ම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා මාතාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි. ඇය මීටර් 13. 53ක දක්ෂතාවක් පෙන්වූ අතර එය මෙතෙක් ශ්‍රී ලංකව මේ තරගාවලියේ දිනාගත් එකම පදක්කමද විය.

නව අදහස දක්වන්න