තැනින් තැන බෝම්බ ඇති බවට කියන කතා බොරු | දිනමිණ

තැනින් තැන බෝම්බ ඇති බවට කියන කතා බොරු

විජයානි එදිරිසිංහ

දිවයිනේ විවිධ ස්ථානවල බෝම්බ තිබු බවත් ඒවා නිශ්ක්‍රීය කළ බවටත් අන්තර් ජාලය සහ වෙනත් විවිධ වෙබ් අඩවි ඔස්සේ ඊයේ(23) සිදු කරනු ලැබු ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය ඒවා බව පොලිස් මුලස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව නාවල විවෘත විශ්වවිද්‍යාලය , මහරගම නගරය කුරුණෑගල පොදු වෙළෙඳ පොළ සහ කුරුණෑගල නගරයේ වූ මෝටර් රථයක් තුළ බෝම්බ ඇති බවට කරනු ලැබු ප්‍රචාරය කොට්ටාව නගරය සහ හෝමාගම, කැලණිය ප්‍රදේශය ආදි වශයෙන් විවිධ ස්ථානවල බෝම්බ තිබු බවත් ඒවා නිශ්ක්‍රීය කළ බවටත් කරනු ලැබූ එම අසත්‍ය ප්‍රචාර නිසා මහ ජනතාව ඊයේ දැඩි භීතියට පත්ව සිටියහ.

මෙහිදි පොලිස් මුලස්ථානය මඟින් දැනුම් දුන් බෝම්බ ඇටවු බවට සඳහන් කළ ලොරි රථය සහ කුඩා වෑන් රථය සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ මඟින් තහවුරු කරන ලද තොරතුරු මත ඒවා සම්බන්ධයෙන් අදාළ මෙහෙයුම් කිරීමට සියලු පොලිසිවලට දැනුම් දි තිබුණි.

මේ අතර ඉන්දියාවේ හින්දු පුවත් පතකය අන්තවාදි ත්‍රස්තවාදි සංවිධානය මඟින් නැවත දෙවැනි ප්‍රහාරයකට සුදානම්ව සිටින බවට පුවතක් පළ වි තිබු බවත් ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම් දි ඇති බවටත් බොහෝ වෙබ් අඩවිවල ප්‍රචාරය වි තිබුණි . මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගෙන් විමසු විට හෙතම පවසා සිටියේ එම පුවත් පත් වාර්තාව සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කැර ඇති බවයි.

කෙසේ වෙතත් සමාජය තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පිරිස සම්බන්ධයෙන් පොලිසිය දැඩිව ක්‍රියා කරන බව පවසන පොලිසිය ,ජලයට වස ඇතුළත් කර ඇති බවට පෙරේදා කිරිබත්ගොඩ සහ තවත් ප්‍රදේශ පුරා නිවේදනය කළ පුද්ගලයන් දෙදෙනා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.

මේ ආකාරයෙන් මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කර අහිංසක ජනතාව රවටා පිඩාවට පත් කර සතුටු වන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් වහාම පොලිසිය දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න