අමල් ඇතුළු 03ක් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් | දිනමිණ

අමල් ඇතුළු 03ක් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස්

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැනුණු ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැර ඇත.

පැය 24ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා අද පෙරවරුවේ මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

අපරාධ කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් ඩුබායිහි සංවිධානය කළ සාදයක් අතරතුර අත්අඩංගුවට පත් වූ ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (23) අළුයම මෙරටට පැමිණ තිබුණි.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඒ අතර සිටි තිදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානයට, කොළඹ අපරාධ කොට්ඨාශයට සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාරදුන් බව පොලිසිය සඳහන් කළේය.

ඔවුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන ඇතුළු චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.

මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් අබු බකර් මොහොමඩ් බදුර්දීන් නැමැත්තා මෙරටට පිටුවහල් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඔහු මෙරටට පැමිණ ඇත්තේ අද අළුයම බවයි.

ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මොහොමඩ් බදුර්දීන් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක්.

නේවාසික වීසා මත ඔහු ඩුබායි හී රැඳී සිට ඇත්තේ 2002 වසරේ සිටයි.

නව අදහස දක්වන්න