ගෝලීය ත්‍රස්තවාදය! | දිනමිණ

ගෝලීය ත්‍රස්තවාදය!

පාස්කු ඉරිදා ප්‍රහාර‍ෙය් වගකීම අයි. එස්. සංවිධානය භාරගෙන ඇත. එම සංවිධානයට අයත් ‘අමාක්’ නම් පුවත් ඒජන්සිය මේ බව තහවුරු කරගෙන තිබේ. එම හෙළිදරව්ව සිදුවන්නට පෙර යුද හමුදාපතිවරයා කියා සිටියේ මේ ප්‍රහාරය සමඟ අන්තර්ජාතික සංවිධානයක සම්බන්ධතාවක් ඇති බවය. පසුව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි දී සඳහන් වූයේ අන්තර් ජාතික සංවිධානයක සහයෝගය මත ප්‍රහාරය ක්‍රියාත්මක වී ඇති බව ය. මේ සාධකවලින් තහවුරු වන්නේ ගෝලීය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා ඉදිරිපත් වී සිටින බවය. එය සුළුකොට තැකිය හැකි සාධකයක් නොවේ.

ලොව බලවත් ම රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදය කිහිප වරක් ම ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්විය. 2001 වසරේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය මෙන් ම 2013 වසරේ ක්‍රියාත්මක වූ බොස්ටන් ප්‍රහාරය ද මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. 2001 දී එල්ල වූයේ ප්‍රහාර මාලාවකි. එයින් තුන් දහසකට අධික පිරිසක් මිය ගියහ. බොස්ටන් ප්‍රහාරය එල්ල වූයේ ක්‍රීඩාලෝලීන් වෙතය. ගෝලීය ත්‍රස්තවාදයේ ස්වභාවය එයින් වටහාගත හැකි ය. ජනාධිපති ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාවේ සිද්ධිය උපුටා දක්වමින් කියා සිටියේ ඛේදවාචකයේ බරපතළකම අ‍මෙරිකාව හොඳින් වටහාගෙන ඇති බවය. ට්‍රම්ප් මහතාට අනුව ශ්‍රී ලංකාවේ සහයෝගයට අමෙරිකාව පෙනී සිටී. ත්‍රස්තවාදය යනු ලෝකය මුහුණ දෙන අංක එකේ දේශපාලන ප්‍රශ්නයකි. ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමේ දී රටවල් තනි -තනි ව නොව; සාමුහික ව ක්‍රියා කළ යුතු බව දියුණු රටවල නායකයන්ගේ අදහස ය. එම අදහස පිළිගත හැකි ය. විවිධ රටවල විවිධ අරමුණු හා ඉලක්ක ඇති ව ත්‍රස්ත සංවිධාන බිහි වී ඇත. මේ සංවිධාන එක අරමුණක් හා එක ඉලක්කයක් වෙනුවෙන් ඒකරාශී කිරීමට ගෝලීය ත්‍රස්තවාදය සමත් වී ඇති බව පෙනෙයි. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ ද, අවි ජාවාරම් ඔස්සේ ද ඇති තරම් මුදල් හම්බකරන බවද හෙළිදරව් වී ඇත

මේ මුදල් ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම සඳහා ද ඔවුනට අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා ද යොදවයි. මෙය ජාලගත ක්‍රියාවලියක් බව නිසැකය.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ජාත්‍යන්තරයේ ද සහයෝගය ඇති ව ගෝලීය ත්‍රස්තවාදය රටෙන් මුලිනුපුටා දැමීමට ක්‍රියා කරන බවය. එය බුද්ධිමත් තීරණයකි. අමෙරිකාව, චීනය, ජපානය හා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඍජු සහයෝගයක් ලබාදීමට ඉදිරිපත්ව සිටිති. ඉන්දියාව සිය බුද්ධි අංශ ලබාගත් තොරතුරු පවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත්ව සිටී. අගමැති මෝදි මහතා මේ කරුණු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන බව ද පෙනී යයි. ශ්‍රී ලංකාවෙ ඛේදවාචකය අපට ද වේදනාවක් යනුවෙන් මෝදි මහතා සඳහන් කර ඇත. මේ පසුබිම අපට පෙන්වා ‍දෙන්නේ බලවත් රටවල සහයෝගය; ශ්‍රී ලංකාවට නොඅඩුව ලැබෙන බවය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සියලු ම විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙහි දී සියලුම රටවල් ත්‍රස්ත මර්දනයට සහයෝගය දක්වන බව ප්‍රකාශ වී තිබේ. ත්‍රස්ත ක්‍රියා මර්දනයට අවශ්‍ය උපදේශන, තාක්ෂණය හා උපාය මර්ග සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට රටවල් අටක් එකඟ වී ඇත. මෙය සාධනීය තත්ත්වයකි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරය හෙළා දැක තිබේ. උක්ත පසුබිම ගත්කල ජාත්‍යන්තර සහයෝගය හොඳින්ම පවතින බව පෙනෙයි. ජාත්‍යන්තර සහයෝගයෙන් තොරව ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම අපහසු බව අපි මුලින් ද සඳහන් කළෙමු.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බලවත් රටවල සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් එකිනෙක පාර්ශ්ව විවිධ අදහස් දරන බවක් පෙනෙන්නට තිබේ. එක පාර්ශ්වයක මතයට අනුව මේ මඟින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල විය හැකි ය. තව පාර්ශ්වයක මතයකට අනුව රජය අමෙරිකන් බලපෑමට යටත්වීමට සුදානම් වෙයි. තවත් මතයකින් කියැවෙන්නේ දේශීය උපායමාර්ග හා දේශීය සම්පත් මඟින් මේ ගැටලුව විසඳාගත හැකි ය. මේ මොහොතේ ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ කිසිදු වැරැද්දක් නැති බව අපගේ පිළිගැනීම ය. ත්‍රස්තවාදයට කිසිදු රාජ්‍යයක් නිල වශයෙන් සහයෝගය දක්වන්නේ නැත. එසේ සහයෝගය දැක්වීමේ හැකියාවක් ද කිසිදු රාජ්‍යයකට නැත.

ප්‍රහාර මාලාවට සම්බන්ධ දේශීය අන්තවාදී සංවිධාන දෙකක් ගැන තොරතුරු හෙළි වී ඇත. මේ සංවිධාන දෙක නීතියෙන් තහනම් කරන්න යැයි මුස්ලිම් සමාජය ඉල්ලා සිටිති. එය තහනම් කොට අදාළ සංවිධානවල ක්‍රියාකාරීත්වයට වැට බැඳීමට රජය ක්‍රියා කළ යුතුව තිබේ. ත්‍රස්ත ක්‍රියා පිළිබඳ අධ්‍යයනය කළ බුද්ධි අංශ ප්‍රධානියකු තවත් වැදගත් අදහසක් ප්‍රකාශ කර තිබේ. එනම්; පළමුව මේ ප්‍රහාර මාලාවේ අර්ථය කුමක්දැ’යි සොයා ගත යුතු බවය. දේවස්ථානවලට පහරදීමෙන් ආගමික විරෝධයක් මතුපිටින් පෙනෙයි. සංචාරක හෝටල්වල පිපිරීම් සිදු කිරීමෙන් ආර්ථිකය විනාශකිරීමේ ඉලක්කයක් මතුපිටින් පෙනෙයි. එහෙත් ප්‍රහාර මාලාවේ සැබෑ අර්ථය ඉහත සාධක ඉක්මවා ගිය එකක් විය හැකි බව ඉහත නිලධාරියාගේ අදහස ය.

ත්‍රස්තවාදීන්ගේ අරමුණු, ඉලක්ක පමණක් නො ව, අනාගත සැලැසුම් පවා හඳුනාගත හැකි හොඳ ම උපාය මාර්ගය හැටියට සැලැකිය හැක්කේ ජාත්‍යන්තරය සමඟ ඒකාබද්ධ ව වැඩ කිරීම ය. ඒ ඔස්සේ ත්‍රස්ත මර්දනයට අවශ්‍ය බොහෝ තොරතුරු හා තවත් දේවල් ලබා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ මත් උවදුර තුරන් කිරීම සඳහා ද අන්තර්ජාතික සහයෝගය ලබාගනී. ත්‍රස්ත ක්‍රියා මර්දනය සඳහා ද විවාදයකින් තොර ව බලවත් රටවල සහයෝගය ලබා ගත යුතු බව අපගේ පිළිගැනීම ය. එය නැවත - නැවත අවධාරණය කිරී‍ෙමහි වරදක් නැත. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට පමණක් නොව; ආර්ථිකය යළි ගොඩනැඟීමට ද ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍ය වේ.

මේ වන විට රට හමුවේ අභියෝග කීපයක් පවතී. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඉන් පළමුවන්න ය. දෙවන්න ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම ය. තෙවන්න සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට ගැනීමය. මේ අභියෝග ජය ගැනීම සඳහා රටේ නායකයන් සාමුහිකව ක්‍රියා කළ යුතුය.

 


නව අදහස දක්වන්න