භේද පසෙකලා රට බේරා ගැනීමට නැගී සිටිමු | දිනමිණ

භේද පසෙකලා රට බේරා ගැනීමට නැගී සිටිමු

ප්‍රින්ස් ගුණසේකර දෝහා කටාර් සිට...

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනයේදී තුම් පිම්ම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා මාතාව ලෝකඩ පදක්කමකින් සැරසූ විදූෂා ලක්ෂාණී, සියලු ජාතීන් එක්ව රට බේරා ගැනීමට අත්වැල් බැද ගන්නා ලෙස ආයාචනයක් කරයි. පටු හැගීම්වලින් තොරව එකාමෙන් නැගී සිට කුරිරු ත්‍රස්ත්‍රවාදය පරාජය කළ යුතුයැයි ඇය අවධාරණය කළාය.

මීගමුව නිව්ස්ටඩ් බාලිකාවෙන් ක්‍රීඩාවට පිවිසි දැනට 23 හැවිරිදි වියෙහි පසුවන විදූෂා එම ප්‍රදේශයේම පදිංචිවී සිටින අතර ඇයට ඉගැන්වූ ගුරුවරු කිහිපදෙනකු හා මිතුරු මිතුරියන් කිහිප දෙනකු පසුගියදා පුපුරාගිය බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති නිසා කම්පනයකින් පසුවන්නීය. ඇය ලෝකඩ පදක්කම දිනාගත් අවසන් තරගයට එක් වූයේද සිය සංවේගය පළකිරීමේ අදහසින් දකුණු අත් බාහුවේ කලු පටියක් පැළද ගෙනය.

“අපේ පළාතේ මා දන්නා කියන අයට ලොකු කරදරයක් වෙලා තියෙන වෙලාවක රටට ලෝකඩ පදක්කමක් දිනා දීමෙන් විශාල සතුටක් ලබන්න පුලුවන් කමක් නෑ. මීගමුව ගමේ හා තවත් තැන් කිහිපයක ජීවිත විශාල ගණනක් අහිමිවී තිබෙනවා. අහිංසක කුඩා දරුවන් මියගොස් තිබෙනවා. මේ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා කරන අය මොනවද බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ දරුණු අපරාධ නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ හැම දෙනාම එකා වගේ නැගිට ත්‍රස්තවාදය පරාජය කළ යුතු වේලාවක්. මා දිනාගත් මේ පදක්කම මියගිය සියලු දෙනාටම උපහාරයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා” විදූෂා ලක්ෂාණී පැවැසූවාය.

දෝහා කටාර් කලීෆා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 23වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ විදූෂා ලක්ෂාණී තුම්පිම්ම ඉසව්ව මීටර් 13.53කින් නිමකොට මේ දක්ෂතාව දැක්වූ අතර පදක්කම් පිපාසයෙන් සිටි ශ්‍රී ලංකා පිලට එය විශාල අස්වැසිල්ලක් ද වූවේය. තුම්පිම්ම ශ්‍රී ලංකා වාර්තාව ද උසුලන විදූෂා ලක්ෂාණී කොළඹදී මේ ඉසව්වේ උපරිම දක්ෂතාව මීටර් 13.64ක් ලෙස සටහන් කොට තිබිණි. දෝහා හී පෙරේදා පැවැති තුම්පිම්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම තායිලන්තයේ පාරින්යා චුයාමාරොන්ග් මීටර් 13.72කින් හා රිදී පදක්කම චීනයේ රූයී සෙන්ග් මීටර් 13.65කින් සතුකර ගත්තාය.

විදූෂා මේ තරගයේ මුල්ම උත්සහායේදී මීටර් 13.40ක දුරක් පනිද්දී රන් පදක්කම දිනාගත් තායිලන්ත ක්‍රීඩිකාව මීටර් 13.59ක දක්ෂතාවක් පෙන්නුම් කළාය. විදූෂාගේ දෙවැනි උත්සහය අසාර්ථක වූ අතර තුන්වැනි උත්සහයේදී මීටර් 13.46ක දුරක් සටහන් විය. සිවුවැනි උත්සහයේදී විදූෂා මේ ශූරතාවලියේ හා මේ තරගවාරයේ සිය උපරිම දක්ෂතාව මීටර් 13.53 සටහන් කළ අතර පස්වැනි හා හයවැනි උත්සහායන් දෙකම අසාර්ථක වූවාය. තායිලන්ත ක්‍රීඩිකාවට රන් පදක්කම තහවුරු වූයේ ඇයගේ අවසන් උත්සහයේදී පෙන්වූ උපරිම දක්ෂතාවෙනි.

විදූෂා මේ දිනවල කියිබානු ජාතික ලුවිස් මාටින් මහතා යටතේ පුහුණුව ලබමින් සිටින අතර ඔහුද දෝහා වෙත පැමිණ සිටී. තම පුහුණුකරුගේ මඟ පෙන්වීම විශාල දිරියක් වූ බව ලක්ෂාණී සඳහන් කළාය. මේ ඉසව්ව පැවැතෙද්දී දෝහා කාලගුණික තත්ත්වය සෙල්සියස් අංශක 19-20ක් අතර විචලනය වෙමින් තිබූ හෙයින් ක්‍රීඩිකාවෝ තරමක් අපහසුතාවට පත්ව සිටිනු අයුරු දක්නට ලැබුණි.

“මේ මෙඩ්ල් එක ආසියානු මට්ටමේ මගේ පළමු මෙඩ්ල් එකයි. මා රට වෙනුවෙන් යමක් කළා කියා හිතනවා. හැබැයි මගේ මෙඩ්ල් එක කවුරුත් බලාපොරොත්තුවුණ එකක් නෙමෙයි. ගොඩක් අය හිතුවේ මා දෝහා වෙත ඇවිල්ලා නිකමෙක් වගේ යයි කියලා. මා මීටර් 13.28ක් කරලයි මේ ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්තේ. ඇතැම් අය ඇහුව්වා මාව මොකටද දෝහා ශූරතාවලියට ගෙනියන්නේ කියා. දැන් ඒ අයට මොනවා හිතෙනවාද දන්නේ නෑ. අවලාද නැගූ සියල්ලට මා නිහඩව හොඳ උත්තරයක් දුන්නා” ලක්ෂාණී පැවැසූවාය.

“මාව මානසිකව වට්ටන්න කාටවත් බෑ. අපි වගේ නැගී එන අය වැටුනාම දිරිගන්වලා උඩට ගන්නවා වෙනුවට පාගා දමන එක හොඳ නෑ. ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් වැටුණ වෙලාවක විවේචනය නොකර දුර්වලතා හඳුනාගෙන ශක්තියක් වීමයි වැදගත්ම දේ. මින්පසු විවේචකයන් පාඩමක් ඉගෙන ගත යුතුයි. මොකද අපි හැම දෙනාම උත්සහා කරන්නේ අප සතුටු වෙනවා වගේම රට ඉහළ තැනක තියන්නයි” ලක්ෂාණී සඳහන් කළාය.

මේ ශූරතාවලියේ පෙරේදා රාත්‍රියේ පැවැති මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බහරේන් ක්‍රීඩිකාව සමග අවසන් මීටර් 50 දක්වා කරට කර සටනක නිරතවූ නිලානී රත්නායක හදිසියේම ධාවන පථයේ ඇද වැටීමෙන් සිවුවැනි ස්ථානයට පත්වීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් විය. තරගයේ අවසන් මීටර් පනහේදී දකුණු පසින් බහරේන් ක්‍රීඩිකාව පසු කිරීමට නිලානී ගත් ප්‍රබල උත්සහයේදී සමබරතාව ගිලිහී ගොස් ඇය සම්පූර්ණයෙන්ම ඇද වැටුණු අතර තත්පර කිහිපයකදී නැවැත නැගිට තරගය අවසන් කළද එවිට සියල්ල සිදුවී හමාර විය.

නිලානී රත්නායක ක්‍රීඩිකාවන්ගේ පොකුරෙන් මිදී අවසන් මීටර් 200දී ඉදිරියට පැමිණීමෙන් තරගයේ වේගය වැඩිවූ අතර මේ හේතුවෙන් රන් පදක්කම දිනාගත් බහරේනයේ මුටීල් වින්ෆ්‍රීඩ් (මි.9:46.18) හා රිදී පදක්කම දිනාගත් චීනයේ ෂුවන්ග් ෂී (මි. 9:51.78) පියවර කිහිපයක් ඉදිරියට ඇදුණහ. තෙවැනි තැනට නිලානී හා ලෝකඩ පදක්කම දිනාගත් බහරේනයේ ටයිගස්ට් මෙකොනෙන් (මි. 9.53.96) අතර උණුසුම් සටනක් නිර්මාණය වෙද්දී නිලානී පෙරට ඒමට ගත් ප්‍රයත්නයේදී මේ කරදරයට නිලානී පත් වූවාය. වැටී වැටී නැගිට තරගය නිමකළ නිලානී ගතකළ කාලය වූයේ මිනිත්තු 9.58.55ක් ලෙසය.

නිලානී රත්නායක තරගයෙන් අනතුරුව පැවැසූවේ ඇතිවූ තත්ත්වය පිළිබඳ විශාල කනගාටුවකින් පසුවන බවයි. “තෙවැනි තැනට පැමිණි බහරේන් ක්‍රීඩිකාව මට තරගයේ යෙදෙද්දී කීහිපවතාවක්ම අතින් පහර දුන්නා. මා කණ්ඩායමේ කළමනාකාරීත්වය සමග කතාකොට ඒ ගැන විරෝධතාවක් ඉදිරිපත් කරනවා” නිලානී රත්නායක සඳහන් කළාය.

මේ අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට එක්වූ ජනක විමලසිරි මීටර් 7.57කින් හා ධනුෂ්ක සඳරුවන් මීටර් 7.53කින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ.


නව අදහස දක්වන්න