කමා කළ මැනවි | දිනමිණ

කමා කළ මැනවි

ඔබ මරා දැමීම සඳහා අවි අමෝරාගෙන එන සතුරා වෙත සාමයේ හස්තය දිගුකරන්න යැයි ක්‍රිස්තුස් වහන්සේ කී සේක. තවදුරටත් ඔබේ වම් කම්මුලට පහරදුන් තැනැත්තාට දකුණු කම්මුල ද ඉදිරිපත් කරන්න යැයි උන්වහන්සේ කී සේක. මෙය නිවටකමක් ද? බියසුලුකමක් ද? නැත; මේ වනාහී බුද්ධිමය පැවැත්මයි. බුද්ධිමතා කිසිදිනෙක අනෙකාට පහර දෙන්නේ නැත. තම සතුරා වුව විනාශ කරන්නේ නැත. මේ ඉගැන්වීම් හා අභ්‍යාස ශ්‍රී ලංකාවේ කිතුනු සමාජය අකුරටම පිළිගෙන ඇති බව මේ ඛේදනීය අවස්ථාවේ කිව යුතුය.

‍ශ්‍රී ලංකාවේ කිතුනු සමාජය සියයට ගණනකි. දෙමළ ජාතිකයන්ගේ විශාල කොටසක් ද, සිංහල සමාජයේ විශාල කොටසක් ද කිතුනු දහම අදහති. මුස්ලිම් සමාජයේ සැලැකිය යුතු කොටසක් ද කිතුනු දහම පිළිගනිති. ලෝකයේ සාමය හා සහජීවනය වෙනුවෙන් පෙනී සිටින විශාල පිරිසක් ද කිතුනු දහම අදහති. ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට හෝ එහි ඉඩක් නැත.

ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය සමස්ත ලෝකයම යම් අයුරකින් කම්පනයකට පත්කර තිබේ. මානුෂිකත්වය තුළ පවත්නා වේදනාව, ශෝකය හා තවත් මානුෂික හැඟීම් පිළිබඳ ජීවමාන සාධකයක් ලෙස පාස්කු ප්‍රහාරය ඉතිහාසගතවී ඇත. ශ්‍රී ලංකාවේ සියලු මනුෂ්‍යයන් සාමකාමී යැයි සහතිකයක් අපට ලබාදිය හැක්කේ මේ ව්‍යසනය හමුවේ ජනතාව හැසිරුණු අන්දම අනුවය. ඊටත් වඩා හොඳ සහතිකයක් ශ්‍රී ලංකාවේ කිතුනු සමාජය වෙත ලබාදිය හැක්කේ ඔවුන් කිසිදු අයුරකින් මේ ඛේදවාචකය හමුවේ පළිගැනීමකට නොගිය බැවිනි. කිතුනු දහම තුළ ද එම සංස්කෘතිය තුළද වෛරයට කිසිදු උත්තේජකයක් සපයන්නේ නැත.

සංවේදී ශ්‍රී ලාංකික ජනතාව හදවතින්ම විපතට පත් පිරිස් සමඟ එක්වූ බව නොරහසකි. එය ඉදිරියට වඩාත් තීව්‍ර කළ යුතු වෙමු. සිය විශ්වාසය මත යාච්ඤාවේ නියුතු මේ බැතිමතුනට සිය ධර්මානුකූල සහාය පිරිනැමිය යුතු වේ. ඒ මෙහි වේදනාව දැන් දැන් වඩාත්ම අත්විඳින්නේ ජීවත්වන ජනතාව බැවිනි.

මේ ඛේදවාචකය සිය දේශපාලන වාසිය සඳහා අතකොළුවක් කර ගන්නා යමෙක් වේ නම් එයයි සැබෑ ත්‍රස්තවාදය. බුද්ධිමත් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇත.

එසේම මේ සිදුවීම සැබෑ පරාජයක් ලෙස නොසිතිය යුතුය. ගෝලීය ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන ලෝක ප්‍රජාවම වැටුණු අප රටට හදවතින් පමණක් නොව කළ හැකි සෑම සහායක් ලබාදෙමින් වඩාත් පිබිදුණු රටක් කිරීමේ වෑයමට එක්වන ලෙසට ඇරියුම් කරමු.

සංවේදී මිනිස් සිතුවිලි තුට්ටුවකට ගණන් නොගෙන සිදුකරන අමානුෂික මාධ්‍ය හැසිරවීම් ප්‍රතික්ෂේප කරමු.

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා අවධාරණය කළ කරුණු දෙකක් තිබේ. පළමුවැන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ලබාදෙන උපදේශන අකුරටම ක්‍රියාත්මක කරමින් බැතිමතුන්ගේ ආරක්ෂාව සලසාගත යුතු බවය. දෙවැන්න මේ ප්‍රහාරය පසුපස අප නොදන්නා ජාත්‍යන්තර බලපෑමක් ඇති බවය. මේ කරුණු දෙකම ඇත්තකි. එක අතකින් ආගම් විරෝධී කැරැල්ලක් ඇති කිරීමට කෙනකුට හෝ සංවිධානයකට ‍හෝ අවශ්‍යතාවක් තිබෙන්නට පුළුවන. තවත් අතෙකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, දේශපාලනය ඇතුළු සමාජ ක්‍රමය විනාශ කිරීමේ ඉලක්කයක් තිබෙන්නට පුළුවන. මේ තත්ත්වය වටහාගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්ය.

අපේ මහනායක හිමිවරුන් කිහිපදෙනකුම උපදේශන ලබාදී ඇත්තේ මේ මොහොතේ සියලු බෙදීම් හා ගැටුම් නවතා නායකයන් එක න්‍යාය පත්‍රයකට පැමිණිය යුතු බවය. එම න්‍යාය පත්‍රය වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමය. අන්තවාදය පරාජය කිරීමය.


නව අදහස දක්වන්න