ආසියානු මලල ක්‍රීඩාවේ රන් පදක්කම්වලින් බහරේනය පෙරට‍ | දිනමිණ

ආසියානු මලල ක්‍රීඩාවේ රන් පදක්කම්වලින් බහරේනය පෙරට‍

ප්‍රින්ස් ගුණසේකර
අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්ව මීටර් 7.65කින් (7වැනි ස්ථානය) නිමකළ එක්වූ ධනුෂ්ක සඳරුවන් පියරත්නගේ උත්සහාය

රටවල් 43කින් ශ්‍රී ලංකාවට 15වැනි තැන

දෝහා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ඉදිරියෙන් සිටි දැවැන්තයන් පසුපසට ඇද දමා බහරේනය ඉදිරියට පැමිණෙයි. දෝහා කලීෆා ක්‍රීඩාංගණයේ නිමාව දුටු 23වැනි ආසියානු ශූරතාවලියේදී බහරේනය රන් පදක්කම් 7ක් දිනා ගනිද්දී චීනයට රන් පදක්කම් 6ක් හිමි විය. එහෙත් පදක්කම් එකතුව අනුව චීනය ඉදිරියට පැමිණියේය.

රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනාගත් චීනය පදක්කම් 21ක් දිනා ඉදිරියෙන්ම සිටින අතර බහරේනය රන් 7ක් රිදී 5ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා මුලු පදක්කම් එකතුව 14ක් බවට පත්කර ගැනීම කැපී පෙණුනි. ඉන්දියාව රන් 2ක්, රිදී 5ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා පදක්කම් එකතුව අනුව තෙවැනි තැනට පත්විය. මේ ශූරතාවලියේ රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනාගත් ජපානය පස්වැනි ස්ථානයට පත් වුවද රන් පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කමක් දිනාගත් උස්බෙකිස්තානය පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානය (රන් පදක්කම් ගණන අනුව) ලබාදී ඇත.

අති නවීණතම තාක්ෂණයෙන් යුතුව දින 4ක් මුලුල්ලේ කලීෆා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබාදුන් කටාර් රාජ්‍යය රන් පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් දිනා පදක්කම් සටහනේ හයවැනි ස්ථානයේ සිටී.

ආසියාවේ රටවල් 43කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න පිරිසක් සහභාගීවූ මේ ශූරතාවලියේදී ඉසව් 43ක් වෙනුවෙන් පදක්කම් 186ක් ප්‍රදානය කෙරුණි. එයින් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව 15වැනි ස්ථානයට පත්විය. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කිසිදු පදක්කමක් හෝ දිනා ගැනීමට රටවල් 28ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් නොවූහ. ලබන සැප්තැම්බර් මාසයේදී දෝහා හීදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන බැවින් එයට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සටන් බිමට පිවිසීම මේ ශූරතාවලියේදී කැපී පෙණුනි. එහෙයින් වැඩි තරගකාරීත්වයක් සෑම ඉසව්වකම තිබිණි.

මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා තුම් පිම්ම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා මාතාව ලෝකඩ පදක්කමකින් සැරසූ 23 හැවිරිදි විදූෂා ලක්ෂාණී මීටර් 13.53කින් තරගය නිමකොට ශ්‍රී ලංකාවේ පදක්කම් පිපාසය යම් දුරකට සංසිදවූවාය. තුම්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද උසුලන විදූෂා ලක්ෂාණී කොළඹදී උපරිම දක්ෂතාව මීටර් 13.64ක් ලෙස සටහන් කොට තිබිණි.

කාන්තා මීටර් 400 තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූහ. එම තරගයට දිල්ෂි කුමාරසිංහ, නදීෂා රාමනායක, උපමාලිකා රත්නකුමාරී හා නිමාලී ලියනාරච්චි එක්වූ අතර තත්පර 3:35.06කින් තරගය නිමකොට වසර 1999දී නොප්ලයේ කත්මන්ඩු නුවරදී දමයන්ති දර්ශා, නිම්මි සොයිසා, ඊ. චන්ද්‍රලතා හා ස්වර්ණලතා එදිරිසිංහ විසින් තබා තිබූ මිනිත්තු 3:35.42 වාර්තාව බිඳ හෙලන ලදී. දෝහා තරගයට එක්වූ සහය දිවීමේ කණ්ඩායමට විශාල පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොතිබීමෙන් ක්‍රීඩිකාවන් සිවුදෙනා අතර යෂ්ඨි හුවමාරුවේදී දුර්වලතා හට ගත්හ. මීටර් 400 සහාය දිවීමේ පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවී ගියද, නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කිරීම අගය කළ යුත්තකි. මෙහි රන් පදක්කම මිනිත්තු 3:32.10කින් බහරේනය, රිදී පදක්කම මිනිත්තු 3:32.21කින් ඉන්දියාව හා ලෝකඩ පදක්කම මිනිත්තු 3:34.88කින් ජපානය දිනා ගත්හ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 20ක් දිනා ඇත. නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි 23කදී චීනය රන් පදක්කම් 314ක් රිදී පදක්කම් 215ක් හා ලෝකඩ පදක්කම් 119ක් දිනා ඇති අතර ජපානය රන් පදක්කම් 153ක් රිදී පදක්කම් 193ක් හා ලෝකඩ පදක්කම් 217ක් දිනා දෙවැනි තැන සිටී. ඉන්දියාව රන් පදක්කම් 90ක් රිදී පදක්කම් 107ක් හා ලෝකඩ පදක්කම් 130ක් දිනා තෙවැනි තැනට පත්ව ඇත. ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේම පදක්කම් එකතුව අනුව රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 20ක් දිනා දහවැනි ස්ථානයේ රැදී සිටී.


නව අදහස දක්වන්න