රටේ අනාගත සංවර්ධනයට ප්‍රධාන ආර්ථික කොරිඩෝ හතරක් | දිනමිණ

රටේ අනාගත සංවර්ධනයට ප්‍රධාන ආර්ථික කොරිඩෝ හතරක්

ජාතික, භෞතික සැලසුමට අනුව රටේ අනාගතය වෙනුවෙන් ප්‍රධාන ආර්ථික කොරිඩෝ හතරක් නම් කෙරෙයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව සඳහා නිවාස ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක ඇමැතිවරයා- අපි දැනට මුළු ලංකාවේම 2050 දක්වා දිව යන ජාතික භෞතික සැලසුමක් ඇතිකර තිබෙනවා. මොකද්ද ජාතික භෞතික සැලසුම කියන්නේ. ඊ ළඟ අවුරුදු 30 නැත්නම් 40 අධිවේගී මාර්ග කොහේද ඉදිවෙන්නේ. වරායවල්, ගුවන් තොටුපළ කොහේද ඉදිවෙන්නේ. විදුලි බලාගාර කොහේද ඉදිවෙන්නේ. මහානගර කොහේද ඉදිවෙන්නේ. ආර්ථික සංවර්ධන කලාප කොහේද ඉදිවෙන්නේ. පරිසර සංරක්‍ෂණ ප්‍රදේශ කොහේද තියෙන්නේ. ජලාශ කොහේද ඉදිවෙන්නේ. ජලසම්පාදන සම්පාදන වැඩපිළිවෙළ කොහොමද වෙන්නේ. විදුලි බලාගාර කොහේද තියෙන්නේ කියන එක තීරණය කරන්නේ මේ ජාතික භෞතික සැලසුමෙන්. හැම ආණ්ඩුවක්ම කරන්නේ මේ ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කිරීමයි.

සමහර දේවල් අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය, බැසිල් කියලා බදා ගන්න යනවා. නමුත් මේවා හුඟක් දේවල් ජාතික භෞතික සැලසුමේ තිබූ දේවල්. තව උදාහරණයක් හැටියට කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය 1968 ජාතික භෞතික සැලසුමෙන් ආපු දේවල්. ඒක අනුක්‍රමයෙන් විවිධ ආණ්ඩු උත්සාහ කර අවසානයේ චන්ද්‍රිකා මැතිනිය තමයි 1996 දී ඒකේ වැඩකටයුතු පටන් ගත්තේ. අවසන් වුණේ 2013. ඔය වගේ උදාහරණ බොහොමයක් තිබෙනවා.

කිසියම් දවසක කා යටතේ හෝ ජාතික භෞතික සැලසුමින් ගලා ආපු එකක්. එතකොට ඒ ජාතික භෞතික සැලැස්ම දැන් අපි 2050 දක්වා අවසන් කර තිබෙනවා. අපේ ඒ සැලසුමට අනුව රටේ ප්‍රධාන ආර්ථික කොරිඩෝ 4ක් තිබෙනවා. එකක් තමයි කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා යන ආර්ථික කොරිඩෝව. ඒක ප්‍රධාන වශයෙන්ම අඹේපුස්ස, ඊ ළඟට කුරුණෑගල, දඹුල්ල, හබරණ, ත්‍රිකුණාමලය යන විදිහට තමයි යන්නේ. ඒකට අවශ්‍ය කරන අංග සම්පූර්ණ සැලසුම අපි සකස් කර තිබෙන්නේ. ඒ වගේම අනෙක් කොරිඩෝව ගාල්ලේ හික්කඩුවේ සිට තිස්සමහාරාමය දක්වා යන කොරිඩෝව. ඒකෙත් සියලුම අංගෝපාංගයන් අපි සැලසුම් කර තිබෙනවා. ඊ ළඟ එක යපනේ සිට කිළිනොච්චියට. අනෙක තිබෙන්නේ වාලච්චේනයේ සිට අම්පාරට ඒ තමයි ප්‍රධාන කොරිඩෝ හතර. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහනුවර අහු වෙලා නැහැ නේද කියලා. මහනුවර සහ අනුරාධපුරය තමයි අපි දකින්නේ මේ කොරිඩෝවලින් පිටත තිබෙන ප්‍රධානම නගර දෙක හැටියට. ඒ අනුව ඒ නගර දෙක අපි ප්‍රධාන නගර දෙකක් හැටියට තෝරාගෙන වෙනම උපාය මාර්ගිකව සංවර්ධන ව්‍යාපෘතියකට දාලා තියෙනවා

 


නව අදහස දක්වන්න