පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම එක් අයකුට පවරන්න බෑ | දිනමිණ


 

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම එක් අයකුට පවරන්න බෑ

ධනුෂ්ක ගොඩකුඹුර

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම රජය විසින් බාර ගතයුතු බවත් එක් පුද්ගලයකු වෙත පැවරිය නොහැකි බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පෙරේදා (24) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ ප්‍රහාරයෙන් මියගිය, තුවාල වූ පිරිස් සහ ඔවුන්ගේ පවුල් වෙත අපගේ ශෝකය පළ කරනවා. මේ ප්‍රහාරය මෑත කාලයේ සිදු වූ වඩාත් සංවිධනාත්මක සහ මිනිසුන් එල්ල කරගත් කුරිරුතම හා විශාලතම ප්‍රහාරය ලෙසින් හැඳින්විය හැකියි. මෙවැනි නින්දිත ප්‍රහාරයක් මේ රටේ මීට ප්‍රථම සිදුවී නැහැ.

අප විශ්වාස කරනවා. මේ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබුණු ප්‍රහාරයක් බව. දවසක් දෙකක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණු බව අපට දැනගන්න තිබෙනවා.

මීට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ රටේ බුද්ධි අංශ විනාශ කළ අය බව කිව යුතුයි. වෙන රටවල නම් බුද්ධි අංශ නිලධාරීන් විශේෂ ආරක්ෂාවකට යටත් වෙනවා. නමුත් අපේ රටේ බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ ඇඟිලි සලකුණු පවා ගන්නවා.

දැන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් ඉඳලා පලක් නැහැ. මේ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මිය ගියා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසක් අතුරුදන් වෙලා තියෙනවා. ඒ අයට වෙච්ච දෙයක්වත් කවුරුවත් දන්නේ නැහැ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න