වාසනාව ළඟට එන්නෙ මහන්සියෙන් වැඩ කරනකොට | දිනමිණ

වාසනාව ළඟට එන්නෙ මහන්සියෙන් වැඩ කරනකොට

අනුරුද්ධ රත්නින්දේ
ඇප්ටිව් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ නායකත්ව උපදේශක

ගලේවෙල තොළඹුගොල්ල නම් ග්‍රාමයේ ඉපිද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උපාධිය ලැබූ හෙතෙම අද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඇප්ටිව් (APTIV) ආයතනයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂවරයාය. අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රධානියා ලෙස කටයුතු කරන අනුරුද්ධ රත්නින්දේ යටතේ සේවය කරන විදේශීය ජාතිකයින් පිරිස හතළිස් දහසකට ආසන්නය. නායකත්වය සම්බන්ධව පුළුල් අධ්‍යයනයක නිරතව එම විෂය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ද දරන රත්නින්දේ මහතා මේවන විට සාර්ථක නායකයකු විය හැක්කේ කෙසේද යන්න සම්බන්ධ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.

ඔබ අද ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමට ලක්වූ ආයතන ප්‍රධානියෙක් වගේම නායකත්වය සම්බන්ධ උපදෙස් ලබාදෙන කීර්තිමත් පුද්ගලයෙක්. මේ ගමනේ ආරම්භය කොහොම ද ?

මම ඉපදුණේ ගලේවෙල තොළඹුගොල්ල ගමේ. ඒක ගොඩක් දුෂ්කර ගමක්. හැමෝම ජීවත්වුණේ ගොවිතැනින්. මගේ තාත්තාත් හොඳ ගොවියෙක්. මුලින්ම ඉස්කෝලේ ගියේ තොළඹුගොල්ල ප්‍රාථමික විදුහලට. පහේ පන්තියේ ඉඳන් දහයේ පන්තිය දක්වා තලකිරියාගම මහ විදුහලට ගියා. ඒ ඉස්කෝලේ තියෙන්නේ ගලේවෙලයි දඹුල්ලයි අතර. සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණා. ප්‍රතිඵලය අටයි අටයි කියලා කිව්වම මට මුලින් ඒක තේරුණේත් නැහැ. ඒ ඉස්කෝලේ හැදුවට පස්සේ වාර්තා වූ හොඳම ප්‍රතිඵලය ඒක. උසස් පෙළ කරන්න ඉස්කෝල කිහිපකටම යන්න බැලුවා. ගොඩක් අය කිව්වා මට ගණිත අංශයෙන් ඉදිරියට යන්න කියලා. උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින් සමත් වෙලා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ගියා. හොඳට පාස් වුණ නිසා මට ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් කරන්න අවස්ථාව ලැබුණා.

ඔබ ගමේ පාසැලෙන් තලකිරියාගම මහ විදුහලට ගියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලාද ?

නැහැ. අපේ කාලයේ ශිෂ්‍යත්ව විභාග දෙකක් තිබුණා. එකක් තෝරා ගන්න විභාගය. අනික ශිෂ්‍යත්ව විභාගය. තෝරා ගන්න විභාගය මම පාස්. අනික ෆේල්. අපේ ජීවිතය තුළ ලබන පරාජයන් තුළින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන. ඒක තමයි සාර්ථකත්වයට මඟ පෙන්වන්නේ. ශිෂ්‍යත්ව විභාගය ෆේල් වුණ එක ගැන අද මම සතුටු වෙනවා. එදා විභාගය අසමත් වුණ නිසා මම තවත් මහන්සි වෙලා වැඩකළා. ඇයි මම ෆේල් වුණේ කියලා මම කල්පනා කළා. ඒ අඩුපාඩුව මඟ හරවා ගන්න මම මහන්සි වෙන්න ඕන කියන මානසිකත්වය මා තුළ වර්ධනය වුණා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙලා ධර්මරාජයට එන්න මඟ පෑදුණේ ඒ නිසයි. මගේ ජීවිතයේ දෙවැනි ෆේලියර් එක නිසා තමයි අද මම මේ වගේ ඉහළ තැනකට ගියේ. විශ්වවිද්‍යාලයට ගියාම ගුරුවරු හැමදේම උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. පැයක් වගේ පොඩි වෙලාවක් තුළ පාඩමක් කියා දුන්නම අපි පොත්පත් කියවලා වැඩිදුර ඒ ගැන අධ්‍යයනය කරන්න ඕන. පිටිසර ප්‍රදේශවලින් එන ගොඩක් අයට මුල්කාලේදී පාඩම් වැඩ කරගන්න අමාරුයි.

එකක් භාෂා ප්‍රශ්නය. අනික දැනුමේ තිබෙන දුර්වලතා. මේ පාඩම් වැඩ නොතේරෙන අයට විශ්වවිද්‍යාල සිසුන්ම ලෙක්චර් හෝල්වල දේශන කරනවා. මේකට කියන්නේ කුප්පි දෙනවා කියලා. දක්ෂයා තමයි කුප්පිකාරයා. මමත් ඒ කාලේ හොඳ කුප්පිකාරයෙක්. කුප්පිකාරයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ෆස්ට් ක්ලාස් එකක් ගහන කෙනෙක්. ෆස්ට් ක්ලාස් එකක් ගත්තොත් පිටරටකට ගිහින් ආචාර්ය උපාධියක් අරගෙන කැම්පස් එකේ උගන්වන්න පුළුවන්. ඒක ඇත්තටම ඒ කාලේ අපේ හීනයක්. මට ෆස්ට් ක්ලාස් එකක් ලැබුණේ නැහැ. මමත් හිටියේ ෆස්ට් ක්ලාස් එකක් ගහන්න. කොහොම හරි ඒක ගන්න බැරිවුණා. ඒකත් වුණේ හොඳ වෙලාවට. ෆස්ට් ක්ලාස් එකක් ආවා නම් මාත් පිටරටකට ගිහින් ආචාර්ය උපාධියක් අරන් මහචාර්යවරයෙක් වෙලා තාමත් කැම්පස් එකේ උගන්වනවා. මම ඒකේ අඩුවක් දකිනවා නොවෙයි. ඒක එක මාර්ගයක් විතරයි. පරාජය තුළින් මට පුළුවන් වුණා වෙනත් ගමනක් යන්න.

මොකක්ද ඒ ගමන

මාත් එක්ක කැම්පස් එකේ හිටියා ඔක්ස්ෆර්ඩ්වල ඉඳලා ආපු පර්ලි හූලි කියලා මහාචාර්යවරයෙක්. එයා සිංගප්පූරුවේ රැකියාවකට ගියා. මට එන්න කිව්වා පර්යේෂණ වාර්තාවක් එළිදක්වන වැඩකට සම්බන්ධ වෙන්න. ඒ වැඩෙන් පස්සේ එයා එහේ නතර වෙලා වැඩ කරමු කියලා කිව්වා. මම ෆස්ට් ක්ලාස් එකක් නැති නිසා තව ඉගෙන ගෙන පී.එච්.ඩී. ගහලා කැම්පස් එකේ උගන්වන්න හිතාගෙන හිටියේ. ඒ අදහස අතහැරලා මම එතෙන්ට ගියා. එතනදී තමයි මම ඇකඩමික් අංශයෙන් ඈත් වෙලා කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මගේ ජීවිතය වෙනස් වෙන්න ගත්තා. ෆස්ට් ක්ලාස් එක ලැබුණා නම් මම සම්පූර්ණයෙන්ම අධ්‍යයන අංශයට තමයි යොමු වෙන්නේ.

ඔබ ආ ගමනට පවුලෙන්, රටෙන් ලැබුණු පිටුවහල කොහොමද?

අපිට සමාජයේ ජීවත් වෙනකොට වඩාත්ම වැදගත් වන්නේ සාරධර්ම. දක්ෂතා වැඩි මුවහත් කර ගන්න අපිට පුළුවන්. සාරධර්ම අපි පුංචි කාලයේ ඉඳලා වැඩි දියුණු කළ යුතුයි. මම අප්පච්චිගෙන් හා අම්මාගෙන් සාරධර්ම සම්බන්ධ ගොඩක් දේ ඉගෙන ගත්තා. දවසක් අප්පච්චි පොල් කඩන්න මනුස්සයෙක් හොයනවා. කවුරුවත් නැහැ. මන්දක් ගහලා අප්පච්චි ගහේ නැග්ගා. අප්පච්චි ගහක නගිනවා මම කවදාවත් දැකලා නැහැ. ගහෙන් බැස්සම මම ඇහුවා අප්පච්චිට පොල් ගස් නගින්නත් පුළුවන් කියලා. උක්කුං පුතා තමන්ට ඒක කරන්න බැරි නම් කවදාවත් කාටවත් වැඩක් කියන්න එපා. තාත්තා කීව ඒ ධර්මය තමයි මගේ නායකත්වයට තිබෙන අංක එකේ ගුණාංගය. අම්මා නිශ්ශබ්දව හොඳින් ඇහුම්කන් දෙන කෙනෙක්. ඇහුම්කන් දීමෙන්ම අම්මාගේ දැනුම පුදුමාකාර විදිහට වැඩිවෙලා තිබුණා.

මම අම්මාගෙන් ඉගෙන ගත් විශේෂ ගුණයක් ඒක. නායකයෝ ගොඩක්දෙනා කැමැතියි කතා කරන්න. අහන්න කැමැති නැහැ. යමක් අහලා ඒක විශ්ලේෂණය කරලා තීරණයක් ගන්න අම්මාගෙන් මම ඉගෙන ගත්තා. අම්මා බැඳීම් කියන දේට පණ දෙන්නේ කොහොමද කියලා මම දැක්කා. අම්මා ඉතා පහසුවෙන් බැඳීම් ඇතිකර ගත්තා. අපේ සමානකම් වෙනස්කම්වලට වඩා වැඩියි. පොඩි වෙනස්කම් ටික ලොකු කරගෙන අපි ඒ ගැන කතා කරමින් වාද වෙනවා. සමානකම් මොන තරම් තිබුණත් අපි ඒවා ගැන කතා කරන්නේ නැහැ. බැඳීම් දියුණු කරන්න නම් මේ සමානකම් ගැන කතා කරන්න ඕන. සම්මුඛ පරීක්ෂණයේදී මම මේ කරුණු විග්‍රහ කළාම ඒ අය ගොඩක් සතුටු වෙලා මාව සේවයට එක්කර ගත්තා.

ජීවිතය තුළ පරාජයන් නායකත්වයේදී ඔබට සාර්ථක වීමට බලපෑවේ කෙහොමද ?

පරාජයන් අපේ ජීවිතයට අවශ්‍යයි. මුලින් පරාජයන් ලබන විට කලින් ජීවිතය හැඩ ගස්වා ගන්න පුළුවන්. මම දැන් රැකියාවලට බඳවා ගැනීම් කරන්න සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. මම අහන ප්‍රශ්නයක් තමයි ඔබ ජීවිතයේ කවදා හෝ පරාජයට පත්වූ අවස්ථාවක් පිළිබඳ උදාහරණයක් දෙන්න පුළුවන්ද කියන එක. ගොඩක් අය කියනවා මම කවදාවත් ජීවිතයේ පැරදිලා නැහැ කියලා. එතනින්ම මගේ කතාව අවසන්. ජීවිතයේ කවදාවත් පරාජයක් අත්විඳ නොමැති කෙනෙක් කවදාවත් අලුත් දෙයක් කරන්න උත්සාහ කරලා නැහැ. නායකයෙක් වුණාම අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි පරාජයන් අත්විඳින්න ලැබෙන්නේ. කවුරු හරි කරපු දෙයක් කරන්න ඕනෑම කෙනකුට පුළුවන්. අලුත් දෙයක් කිරීමයි වැදගත් වන්නේ. ප්‍රශ්න නැතුව අපිට කවදාවත්ම ජීවිතය ඉදිරියට ගෙනියන්න බැහැ. ප්‍රශ්න ඇති වුණාම තමයි අපිට ඒවා විසඳා ගැනීමට අවශ්‍ය දැනුම ලැබෙන්නේ.

නායකත්වය කියන්නේ ඇත්තටම මොකක්ද ?

නායකයෝ ගොඩකට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ප්‍රශ්න ගොඩක්. අපිට හරි නායකයෙක් තෝරා ගන්න තේරෙන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක්. ඒකනේ අපි ඡන්දය දීලා අපිව නියෝජනය කරන්න යවන ගොඩක් අය ගැන පස්සේ කලකිරීමෙන් කතා කරන්නේ. මොකක් හරි භාණ්ඩයක් ගත්තොත් අපිට ඒකේ ගුණාංග සියල්ල කියන්න පුළුවන්. පුටුවක් ගත්තොත් ඒක හදලා තියෙන ලීය, ඒකේ බර, වර්ණය, දිග, පළල මේ ඕන දෙයක් කියන්න අපිට හැකියාව තිබෙනවා. මනුෂ්‍යයෙක් ගත්තොත් එයාගේ උස,බර,පාට වගේ දේවල් අපිට කියන්න පුළුවන්. පණ තියෙන වස්තූන් අතර බැඳීම් තිබෙනවා. පණ තිබෙන සත්වයින් භාහිරින් හඳුනා ගත්තත් ඇතුළතින් හඳුනා ගන්න හරිම අමාරුයි. මේ නිසා තමයි අපි මිනිස්සුන්ට රැවටෙන්නේ. පුද්ගලයෙක් හරියට හඳුනා ගන්න නම් ඔහුගේ සම්බන්ධතා හා ඒවා පවත්වා ගෙන යන ආකාරය හඳුනා ගන්න ඕන. මගේ යටතේ තිස් හතළිස් දාහක් සේවය කරනවා. මම මොනවත් කරන්නේ නැහැනේ. ඩිසයන් කරන්නේ නැහැ. පාරිභෝගිකයෝ එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඩිලිවරි කරන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් මම වැඩක් කරන්නේ නැහැ.

මගෙන් වෙන්න ඕනදේ මොකක්ද? මම මේ අයට නායකත්වය දෙන්න ඕන. සමහර නායකයෝ හරියට කරන්නත් සමහර නායකයෝ වැරදියට කරන්නත් හේතු මම හෙව්වා. සමහර නායකයින්ට අද හොඳයි කියලා ඡන්දය දෙන ජනතාව හෙට ඒ අයට බණිනවා. සමහර නායකයෝ එක තැනක හොඳට වැඩ කරනවා. තවත් තැනකට ගියාම දුර්වල වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. මම මේක අධ්‍යයනය කරලා අලුත් මොඩල් එකක් හැදුවා. දැන් මම ඒ ගැන පොතක් ලියනවා.

අපි සමානකම්වලට වඩා කතා කරන්නේ අසමානතා කියලා ඔබ කියන්නේ ඇයි?

ඒක මම කියන දෙයක් නොවෙයි.සමාජයේ පේන්න තිබෙන දෙයක්. ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නෙත් ඒ නිසාමයි. අපි පස්දෙනා එක එක වයසේ. එක එක පාට. එක එක හැඩයේ. මේවා වෙනස්කම්. අපි කතාකරන්නේ ඒ වෙනස්කම් ගැන. අපි සමානකම් ගැන හිතුවොත් කොච්චර තියෙනවාද? අපි ඒවා කතාකරන්නේ නැහැ. අපි රස්සාවක් කරන්නේ සල්ලි හොයන්න. තමන්ගේ පවුල ජීවත් කරවන්න. ළමයින්ට හොඳට උගන්නලා යහපත් පුරවැසියන් ලෙස සමාජයට යොමු කරන්න. අපි හැමෝටම බඩගිනි දැනෙනවා. ලෙඩ රෝග හැදෙනවා. වයසට යනවා. මේ වගේ සමානකම් කොච්චර තියෙනවාද. මහචාර්යවරයෙක් වගේම කම්කරුවෙක් රස්සාව කරන්නෙත් ඔය අපේක්ෂා වෙනුවෙන්. ඒත් අපි කතාකරන්නේ වෙනස්කම් ගැනමයි.

අපේ රටේ ජාතීන් කිහිපයක් ජීවත් වෙනවා. ඔබ කිවූ ආකාරයට අපිට තාමත් එක ජාතියක් ලෙස හිතන්න බැරිවෙලා තියෙන්නේ වෙනස්කම් ගැන කතා කරමින් සිටින නිසාද?

ජාතීන් වශයෙන් ගත්තත් අපි අතර මොන තරම් සමානකම් තිබෙනවාද? ලෝකයේ දියුණු රටවල් දියුණුව කරා ගමන් කරලා තියෙන්නේ සියලු ජාතීන් එකට අත්වැල් බැඳ ගනිමිනුයි. අ‍ෙමරිකාවේ සියලු පුරවැසියන් හිතන්නේ ඔවුන් අ‍ෙමරිකානුවන් ලෙසිනුයි. නමුත් අපිට ඒ තත්ත්වයට එන්න තාමත් බැරිවෙලා. අපේ උප්පැන්න සහතිකයේ තාමත් ජාතිය කියන තැන සිංහලද දෙමළද මුස්ලිම්ද කියලනේ දාන්නේ. මෙතන්ට ශ්‍රීලාංකික කියලා දාන්න අපේ පාලකයෝ තාමත් අසමත් වෙලා. ජනතාව බෙදිලා ඉන්න කල් දේශපාලනඥයින්ට තමයි වාසිය. ආගමික නායකයින්ගේ දේශනා අන්තවාදීන් ඔවුන්ට අවශ්‍යය ලෙස වෙනස් කර ගන්නවා. ඔවුන් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම ආගමට පටහැනිව. ගැටුම් ඇතිකර ගෙන තවත් ආගමක් අදහන පිරිසකට පහර දෙන්න නායකයෙක් කියලා නැහැ.

දක්ෂතාවට වඩා වැදගත් වන්නේ සාරධර්ම කියා ඔබ පවසන්නේ ඇයි?

සොරකම් කරනවා නම්,වංචා කරනවා නම්,අනෙකාට ගෞරව නොකරනවා නම් එතන තියෙන්නේ සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. එවැනි පුද්ගලයකු ආයතනයක් තුළදී අපිට නිවැරදි මාවතට යොමු කරන්න බැහැ. දක්ෂතා අඩුනම් අපිට පුළුවන් ඔහුට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. . හෝටලයක සූපවේදියකුට යම් කෑම වර්ගයක් හදන්න හැකියාව නැත්නම් ඒ පුහුණුව ලබා දීමෙන් පසු ඔහු එය සිදු කරාවි. එහෙත් ඔහු සොරකම් කරනවා නම් එතැන තියෙන්නේ සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. වැරදි වැඩක් කරනවා නම් ඔහු මොන තරම් දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. හොඳ අධ්‍යාපනයක් කියන්නේ ඉහළ දැනුමක්. සාරධර්මත් දැනුමත් ඒකට එකතු වුණාම හොඳ පුද්ගලයෙක් බිහි වෙනවා. මේ දෙකම අඩු අය ඉන්නවා. මේ දෙකෙන් එකක් වැඩියෙන් තිබිලා අනික අඩු අයත් ඉන්නවා. ඒ සැවොම අසාර්ථකයි. අපි රටක් ලෙස පහළට යන්නේ හයි නොලේජ් හා කෝ වැලියුස් දෙකම ඉහළ මට්ටමින් නැති බහුතරයක් රට පාලනය කර තිබෙන නිසයි.

වසර ගණනාවක් ඔබ ජීවත් වන්නේ විදේශ රටක. මේවන විට ඔබ විශාල මුදලක් ආයෝජනය කරමින් බෙල්වුඩ් ප්‍රදේශයේ හෝටලයක් ඉදිකර තිබෙනවා. ආයෝජකයින්ට හිතකර පරිසරයක් මෙරට තිබෙනවාද?

ව්‍යාපාර කිරීම එපා කරන රටක් මේක. මේ ඉදිකිරීම් කරන්න අවශ්‍ය නිර්දේශ ගන්න පුදුම වෙහසෙක් ගත්තා. විදුලිය ගන්න මාස හයක් ගියා. ජලය දෙන දිනයක් තාම දන්නේ නැහැ. අනුකූලතා සහතිකය ගන්න මාස තුනක් ගියා. සිංගප්පූරුව වගේ රටක ආයෝජනයක් කරන්න ගියොත් පිළිගන්නේ රතු පාවඩ දාලා. අපේ රටේ ඇතැම් නිලධාරීන්ට ආයෝජකයින් හිසරදයක්.

සාර්ථකත්වයට වාසනාව බලපාන බව ඔබ විශ්වාස කරනවාද?

සියයට සීයක්ම වාසනාව තියෙන්න ඕන. හැබැයි වාසනාව අපි ළඟට එන්නේ මහන්සි වෙලා වැඩ කරන තරමටයි. මහන්සි නොවෙන්න නොවෙන්න වාසනාව අපෙන් ඈතට යනවා.

සාකච්ඡා කළේ
අසේල කුරුළුවංශ 


නව අදහස දක්වන්න