සිරුරම වැසෙන ඇඳුම් තහනමට අගමැති හෝ ඇමැතිවරු විරුද්ධ වුණේ නෑ | දිනමිණ

සිරුරම වැසෙන ඇඳුම් තහනමට අගමැති හෝ ඇමැතිවරු විරුද්ධ වුණේ නෑ

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු ඇමැතිවරයෙක් නොකළ බවත්, මේ පිළිබඳ මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ඉල්ලීමක් පමණක් කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති, නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් මුදල් ඇමැති මංගල සමරවීර මහතාටත් විවිධ විවේචන සිදු කරමින් පවතින බව කී ඇමැතිවරිය, එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරමින් මෙසේ ද කීවාය.

අද රටේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජයක් හැටියට නොයේකුත් ක්‍රියා මාර්ග ගන්නවා. අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියලුදෙනාම පැවරී තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්නවා.

ඒ අතරවාරයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ දී මොනම හේතුවකින්වත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ.

අගමැතිතුමාගේ අදහස වුණේ සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්න පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියන එකයි. ඒ අනුව ඒ කටයුතු මා කරන්නට යෙදුනා. නොයේකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් අගමැතිතුමාව, මුදල් ඇමතිතුමාව දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්න උත්සාහ කරනවා. මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. අගමැතිතුමා ඉතා පුළුල් විදිහට කල්පනාවෙන් වැඩ කරන නායකයෙක්. අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ තීරණ ගන්න කොට ඒ අදාළ අයට දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සළකන නිසයි එතුමා ඒ විදිහට සඳහන් කළේ කියන එක මම වගකීමක් ඇතිව කියනවා.


නව අදහස දක්වන්න