‘ෆොනි’ ඊයේත් ධීවර ගමන් නවතලා | දිනමිණ

‘ෆොනි’ ඊයේත් ධීවර ගමන් නවතලා

බුද්ධිකා ඉඹුලාන

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින 'ෆොනි 'සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයතුළ දී දැඩි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව නැගෙනහිර, ගිනිකොණ, ඊසාන සහ උතුරු දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේමේ සම්බන්ධව නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස යි.

මෙම සුළි කුණාටුව, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ක්‍රමයෙන් ඊසාන දෙසට ගමන් කරනු ඇති බව ද .කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන බදාදා දක්වා දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන අතර සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර 100-150ක පමණ තද වැසිද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (28) සවස වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 30 ක වහළ ගැලවි ගොස් නිවාස වෙත හානි සිදුව ඇති අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වවුනියාව ඕමන්ත පණික්කන්කුලම ප්‍රදේශයේ නිවාස 20 ක් හා දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයන්ගේ නිවාස 10 ක් මෙසේ හානියට පත්ව ඇති බව යි.ආපදාවට පත් පිරිස් වෙත වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සේවාවන් සපයනු ලබයි.

නායයාම් අවදානම මෙන්ම අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ද මෙහි දී ජනතාව දැනුවත්කෙරෙන බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.ෆොනී සුළි කුණාටුව අද (30)සහ හෙට (01) යන දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කරනු ඇති බවත්, සුළං වේගය ද වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසත්, ඕනෑම හදිසි තත්ත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න