බෞද්ධ-ක්‍රිස්තියානි-ඉස්ලාම් කියලා නෑ සියල්ලන්ම ජීවිත රකින්න බැඳී සිටිනවා | දිනමිණ

බෞද්ධ-ක්‍රිස්තියානි-ඉස්ලාම් කියලා නෑ සියල්ලන්ම ජීවිත රකින්න බැඳී සිටිනවා

කොළඹ අගරදගුරු පදවි, මරිය හමුදා අධියුරු රොනි පෙරේරා පියතුමා

පාස්කු ඉරුදින කිතුනු ආගමික ස්ථාන මෙන්ම තවත් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අපට දරා ගන්න ඉතා අසීරු සිදුවීමක් වුණා. මිනිස් ජීවිත ඉතා වටිනා සම්පතක්. එය බෞද්ධ ද, ක්‍රිස්තියානි ද, ඉස්ලාම් ද කියලා නැහැ සියලු දෙනාම ජීවිතය රකින්න බැඳී සිටිනවා. මනුෂ්‍යාට මනුෂ්‍යා විසින් සේවය කළ යුතු බවට බුදුන් වහන්සේ ද දේශනා කර තිබෙනවා. ඒ නිසා මනුෂ්‍යයන් වන අපි කැලෑ නීතිය අතට අරගෙන ලේ හලා ගෙන මිනී මරාගෙන ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ කුරුසය ලකුණ ශ්‍රී ලංකාවෙන් නැති කරලා දාන්න මේ ප්‍රහාරකයන්ගේ සැලස්මක් තිබෙන බව මාධ්‍ය මඟින් පසුගිය දා කියවුණා. මේ තර්ජනය එන්නේ කුරුසයට පමණක් නොවෙයි. ධර්ම චක්‍රයටත් මේ තර්ජනය තිබෙනවා.

අපි සියලු දෙනා සියලු ආගම් තුළින් උත්සහා ගන්නේ දෙවියන් වෙත යන්නයි. දෙවියන්ගේ නාමයෙන් කියලා මිනී මරලා ඵලක් නැහැ. තමන්ට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා සාකච්ඡා කරලා විසඳ ගන්න සැළසුම් කළ යුතුයි. ලේ හලලා, මිනී මරලා මිනිස් ජීවිත විනාශ කළා කියලා මෝක්ෂය ලබන්න බැහැ. එය අධර්මවාදී, කෘෘර අදහසක් පමණයි. තව අයෙක් මරලා මෝක්ෂය ලැබීම කියන්නේ ගල් යුගයේ අදහසක් පමණයි. අපි නැවත ගල් යුගය කරා ගමන් කළ යුතු නැහැ.

අද තිබෙන්නේ විද්යුත් යුගයක්. මනුෂ්‍යයාගේ ඉතා දියුණු මානසිකත්වයක් තිබෙන යුගයක් අද තිබෙන්නේ. ඒ නිසා මිනිස් ජීවිත රකින්නට ආණ්ඩුව ඇතුළු වගකිව යුතු පිරිස් මේ අවස්ථාවේ කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු දෙනාට තමන්ගේ ආගම ඇදහීමට, වත් පිළිවෙත් කර ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කර දෙන්න ඕනේ. බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. අපි කිසිවිටෙකත් අන්තවාදී විය යුතු නැහැ. අන්තවාදීව මනස විකෘති වූ අයව නැවත මනුෂ්‍ය ජීවිත රකින පැත්තට ගෙන ඒම තමයි අපගේ වගකීම හා යුතුකම ලෙස මේ අවස්ථාවේ මා දකින්නේ.

මෙය ඉතා සාමකාමීව ඉවරයක් විය යුතු දෙයක් මිස තවත් දීර්ඝකාලීන යුද්ධයක් දක්වා ගෙන යා යුතු දෙයක් නොවේ. සාමය, දයාව කරුණාව, ඉවසීම වැනි මානුෂීය ගුණ ධර්මයන් තුළින් අපි මේ කාරණාව සමතයකට පත් කර ගත යුතුයි.

නහී වේරේන වේරාණි කිවුවා වගේ වෛරයෙන් වෛරය සංසිදුවිය නොහැකියි. මේ වෛරය අපි ප්‍රේමයෙන්, දයාවෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් කඩිනමින් නිමාවක් දකිමු. එය අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය වෙනවා.

සමන්මලී ප්‍රියශාන්ති

නව අදහස දක්වන්න