උපහාසය කැටිවුණු කෙටිකතා පොතක් | දිනමිණ

උපහාසය කැටිවුණු කෙටිකතා පොතක්

නවකතා, කෙටිකතා, කාව්‍ය සහ වෙනත් විවිධ විෂය යටතේ කෘති සම්පාදනය කළ ග්‍රන්ථ රචකයකු වන එම්. එම්. කේ. බී. හේරත් මහතාගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය “වන පස මලින් පුද”නමින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි කෙටිකතා විස්සක් ඇති අතර, අලුත් ම මාවතක් ඔස්සේ කතා නිර්මාණය කිරීමට කතුවරයා ප්‍රයත්නයක් දරා ඇත. විශේෂයෙන් බුදු දහමේ දැක්වෙන කර්ම ඵල විපාක පිළිබඳ විශ්වාසයෙන් යුක්තව, මනුෂ්‍යයන්ගේ ජීවිත වඩාත් යහපත් ආකාරයෙන් ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන කරුණු ද ඇතුළත් කර මේ කතා සම්පාදනය කර තිබේ.

මිනිසුන්ගේ සාවද්‍ය ප්‍රකාශවලට රැවටී, අපරීක්ෂාකාරී ලෙස ක්‍රියා කර, භයානක ලෙස මනුෂ්‍ය ඝාතන කරන පුද්ගලයන්, තමන් කළ වැරැදි වසා ගැනීම සඳහා යොදන කූට උපක්‍රම ද පැහැදිලි කරන “දඩයම” නමැති කෙටිකතාව, “පරාභව” සූත්‍රයේ දැක්වෙන “අතීත යොබ්බනෝ පොසෝ“ යන ගාථාවෙන් කියැවෙන කරුණු සනාථ කරයි. එසේ ම “තවත් මට කො‍ඬොල් වතක්” නම් කෙටිකතාව, ධම්මපදට්ඨ කථාවේ දැක්වෙන මට්ටකුණ්ඩලී කථාව, නූතන යුගයට ගැළපෙන ආකාරයට නව අර්ථ කථනයක් ලබා දීමකි. එය, අපූරු චරිත කීපයක් සම්බන්ධ කර ගනිමින් ගොඩනගා තිබේ. එසේ ම, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනා කළ අවස්ථාවේ දී, “වන පස මලින් පුද කළැයි පවසනු කවර වරද ද” යනුවෙන් ඉදිරිපත් කොට ඇති කාව්‍ය සංකල්පය, වර්තමාන මනුෂ්‍ය ජීවිතවලට සම්බන්ධ කර, ශ්‍රද්ධා භක්තියෙන් ජනතාව මුළාවට පත් කරවූ කාන්තාවකගේ චරිතයට මනා ලෙස ගළපා, හාස්‍ය ජනක ආකාරයට ඉදිරිපත් කර ඇති අවස්ථාව ද, පාඨකයාට අපූර්ව අත්දැකීමක රසය විඳ ගැනීමට අවස්ථාව ලබා දෙයි.

මෙහි දක්නට ලැබෙන භික්ෂූන් වහන්සේලාගේ චරිත ඇතුළත් කතා කීපය ද වර්තමාන සමාජයට ආදර්ශයට ගත හැකි ආකාරයට සකස් කර තිබේ. භික්ෂූන් වහන්සේලා ගත කරන ජීවිත පිළිබඳ අඩු වැටහීමක් ඇති බැතිමතුන් අතින් කොපමණ අඩුපාඩු වුණත්, ඒ සියල්ල ඉවසා සිටින භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් “ඒකත් එහෙම ද?” නම් කතාවට වස්තු විෂය වී තිබේ. “තෙරුවන් සරණ යි” කතාවට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා දෙනමගේ ම චරිත ඒ ආකාරයෙන් ම ජනතාවගේ අප්‍රසාදයට ලක් නොවී, “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භීයෝ භාවාය” යන ප්‍රතිපත්තියට එකඟව ගොඩනැගීමට කතුවරයා සමත් වී ඇත.

ශ්‍රද්ධාව ඇතත්, ප්‍රඥාවෙන් තොර උපාසක උපාසිකාවන්ගේ චරිත ඇතැම්විට හාස්‍යජනක ආකාරයට ඉදිරිපත් කර තිබේ. එක් උපාසිකාවක තමන් අතුගාමින් සිටි ඉදල භික්ෂූන් වහන්සේ නමකගේ ශරීරයට ම හේත්තු කර, නමස්කාර කරන ආකාරය දක්වයි. තවත් උපාසිකාවක අත් දෙකෙන් නෙලුම් මල් මිටියක් අල්ලා ගෙන, බලු පැටවකු සඟවා ගෙනැවිත් බෝධිය වටා ඇති වැට ඇතුළේ තබා යන ආකාරය දක්වයි. ගිහි සමාජයේ තවත් පිරිමියකු, භික්ෂූන් වහන්සේ නමකගේ සිවුරට මඩ පහරක් එල්ල කරන ආකාරය දක්වයි. මෙසේ මෙරට ගිහි සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාවෙහි දක්නට ලැබෙන දුර්වලතා, විශේෂයෙන් භික්ෂුන් වහන්සේ හා සම්බන්ධව ක්‍රියා කරන අවස්ථාවල දී ප්‍රකට කරන දුර්වලතා මෙහි ඇතැම් කතා වස්තුවලට පාදක වී ඇති ආකාරය සිත් ගන්නා සුලු ය.

“විපාකය” මාතෘකාව යටතේ දක්වා ඇත්තේ, මෙරට ගිහි සමාජයේ ඉතා ප්‍රබල ලෙස දක්නට ලැබෙන අප්‍රසන්න දුර්වල ලක්ෂණයකි. පවුලක සාමාජිකයන්ට අසීමිත ආකාරයට පීඩනයක් ගෙන දෙමින්, තමන්ගේ පටු පරමාර්ථ පමණක් මුදුන් පමුණුවා ගන්නට යන ඇතැම් පුරුෂයන්ගේ ශරීර අවයව පවා දුර්වල වී ගොස්, අනපේක්ෂිත අවස්ථාවක දූ දරුවන් පවා මහ මඟට තල්ලු කර, අකාලයේ මිය යන බේබද්දෙකුගේ චරිතයක් වටා මේ කතාව ගොඩනගා ඇත. මෙවැනි කථා වස්තුවලදී, ඒ ඒ ගති පැවතුම් ඇති පුද්ගලයන්ගේ කතා බස්, හැසිරීම් රටා, වංචනික ක්‍රියා ආදිය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව, කතාවේ ඒ ඒ චරිත හා අවස්ථා නිරූපණය කර ඇති ආකාරය මඟින්, මේ ලේඛකයාගේ කෘතහස්ත භාවය ප්‍රකට කරයි.

රජය හා රාජ්‍ය ආයතන සම්බන්ධ කතාවස්තු ද මෙහි දක්නට ලැබේ. මැති ඇමැතිවරුන්, රජයේ උසස් තනතුරු හොබවන පුද්ගලයන් ආදීන් ද සම්බන්ධ කර ගොඩනගා ඇති කතා අතර “සංවේදීතාව” නම් මාතෘකාව යටතේ සැපයෙන කතාව, ඉතා ම ආදර්ශවත් කතා වස්තුවකි. ඇතැම්විට එවැනි කතාවල තරමක් දුරට අභව්‍ය යැයි සැලකිය හැකි සිදුවීම් දක්නට ඇතත්, පාඨකයා කතාවට ඇද බැඳ තබාගෙන, කතාවසානය තෙක් රඳවා ගැනීමට ගෙන ඇති උත්සාහය අගය කළ හැකි ය. නොබෙල් ත්‍යාගය දිනාගත් චරිතයක් සම්බන්ධ කර ගත් “නිර්දේශය” නම් කතාව, පාඨකයාට ආදර්ශවත් කරුණු රාශියක් ජීවිතයට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.

මෙහි දැක්වෙන සියලු ම කතා වස්තුවලට මෙරට වර්තමාන සමාජයේ විවිධ පැතිකඩ වස්තු විෂය වී ඇත. ඒ සමඟ ම චරිත නිරූපණය, අවස්ථා නිරූපණය, විශ්වසනීයත්වය දිනා ගැනීම, කතාව එක දිගට ම ගලා යෑම, චරිතයක ඒක දේශයක් විවරණය කිරීමට ප්‍රයත්න දැරීම වැනි කෙටි කතා ලක්ෂණ ද නො අඩුව දක්නට ලැබෙන අතර, සෑම අවස්ථාවක දී ම සමාජයට කිසියම් ආදර්ශයක් ලබා දීමට උත්සාහයක් දරා තිබීම නිසා, මේ කෙටිකතා සංග්‍රහය වර්තමාන පාඨක පරම්පරාව විසින් කියවා බැලිය යුතු කෘතියක් ලෙස නම් කළ හැකි ය.

 

මහාචාර්ය පුංචිබණ්ඩා ඒකනායක
රුහුණු විශ්වවිද්‍යාලය 

නව අදහස දක්වන්න