අනුරපුරෙන් ඇල්ලූ කළු වෑන් රියේ කාන්තා සුදු ඇඳුම් | දිනමිණ

අනුරපුරෙන් ඇල්ලූ කළු වෑන් රියේ කාන්තා සුදු ඇඳුම්

කාන්තා සුදු පැහැති ඇඳුම් පමණක් අලෙවියට රැගෙනා බව කියන විදේශයක සිට මෙරටට පැමිණි මුස්ලිම් ජාතිකයකු හා තවත් අයකු සුදු ඇඳුම් හැටක ප්‍රමාණයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් පෙරේදා (01දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ විමර්ශන අංශයට බාරදී තිබේ.

කළු පැහැති වෑන් රථයක් අනුරාධපුර නගරය දෙසට ධාවනය වෙමින් තිබියදී අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට රථවාහන රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරින් දෙදෙනකුට රථය පිළිබඳව සැකසිතී පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ එහි තිබී විනිවිද පෙනෙන ඇසුරුම් හතරක බහාතිබූ සුදු පැහැති කාන්තා සාය හැටකට ආසන්න ප්‍රමාණයක් රථවාහන අංශයේ පොලිස් සැරයන් 38638 රාජපක්ෂ පොලිස් කොස්තාපල් 41301 සුනිල් යන නිලධාරීන්ට හමුවී තිබේ.

සැකකරුවන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී නිට්ටඹුව තිහාරියේ සිට අනුරාධපුර නගරයට වෙළෙඳාමේ පැමිණි බව පවසා ඇතත් සුදු පැහැයෙන් යුතු සායන් පමණක් එහි තිබීම නිසා පොලිසියට ඒ පිළිබඳව සැකසිතීම නිසා සැකකාර මුස්ලිම් ජාතිකයන් දෙදෙනා හා වෑන් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් තිබුණි.

තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානය බෞද්ධ විහාරස්ථාන වලට ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානමක් ඇති බවට පසුගිය සති කිහිපයේ තොරතුරු අනාවරණයවීම හා බුර්කාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් පිරිසක් සුදු පැහැති ඇඳුම් විශාල ප්‍රමාණයක් එක්වර මිලදී ගැනීමේ සිද්ධිය පොලිසියට අනාවරණය වීමත් සමග වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්ට දැඩි සැකයක් ඇතිවී තිබුණි.

සැකකරුවන් පැමිණි වෑන් රථය පුපුරණ ද්‍රව්‍ය සෙවීම සදහා පුහුණු පුරුදුකර සිටින නිල සුනඛයාගේ සහය ඇතිව පොලිස්ථානය තුළදී පරික්ෂාවට ලක්කළත් එහි වෙනත් කිසිදු සැකකටයුතු ද්‍රව්‍යක් හමුනොවූ බව පොලිසිය කියයි.සැකකරුවන් දෙදෙනා අතර සිටි රථය පැදවූ පුද්ගලයා මීට පෙර කුවෙට් රාජ්‍ය යේ සේවයකර ඇති බවත් ඔහු සන්තකයේ ගල්ෆ් කලාපීය රියදුරු බලපත්‍රයක් තිබූ බවද පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකක සේනක ප්‍රසන්න මකුන්දෑගම උප පොලිස් පරික්ෂක කේ.ටී.ඩී පාලිත නිශ්ශංක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර් ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ
බී. එම්. විජේසූරිය

 

නව අදහස දක්වන්න