ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය-තුවාල වූ පාසල් දරුවන්ට සුරක්ෂා වන්දි | දිනමිණ

ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය-තුවාල වූ පාසල් දරුවන්ට සුරක්ෂා වන්දි

කමනි අල්විස්

ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මිය ගිය පාසල් දරුවන් සඳහා සුරක්ෂා රක්ෂණය වන්දි ලබාදෙන බවත් ඒ සඳහා කඩිනමින් ඉල්ලුම් කරන ලෙසට අධ්‍යාපන ඇමති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ප්‍රතිලාභ රැසක් එම රක්ෂණාවරණය යටතේ හිමිවන බව පැවසූ ඇමැති නීතිඥ කාරියවසම් මහතා රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක සිට රක්ෂණාවරණය ලැබෙන බවත් සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ රවිශංකර් සංවිධානය මනෝ උපදේශකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත්ව සිටින බැවින් ඔවුන් සමඟ ඊයේ (2) සාකච්ඡාවක් පැවැත්වෙන බව පැවසූ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ මනෝ උපදේශක කණ්ඩායම් සමඟ එක්වී රටම ආවරණය වන ලෙසට මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවත් අවධාරණය කළේය.

ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

නව අදහස දක්වන්න