සුපිරි ඕවරයෙන් ජයගත් මුම්බායි අවසන් වටයට | දිනමිණ

සුපිරි ඕවරයෙන් ජයගත් මුම්බායි අවසන් වටයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 51 වැනි තරගය සුපිරි ඕවරයෙන් ජය ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.

තරග 13කට සහභාගිවූ මුම්බායි පිල ඉන් තරග 8ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව මේ අවස්ථාව උදාකර ගත්හ.

ඒ අනුව මේ වනවිට අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් අතර ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් එක්ව සිටී.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගි හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි. ඒ හේතුවෙන් සුපිරි ඕවරය ක්‍රියාත්මක විය.

සුපිරි ඕවර සටනේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා යැවූ පළමු පන්දු 4 තුළදී නියමිත කඩුලු 2 දැවී ලබාගත හැකිවූයේ ලකුණු 8ක් පමණි. මොහොමඩ් නබි සමගින් පිටියට පිවිසි මනීෂ් පාණ්ඩේ පළමු පන්දුවෙන් දුවද්දී දැවී ගිය අතර තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ලකළ නබි ඉහළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 9ක් හඹා යෑමට කිරන් පොලාඩ් සමගින් පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යා, රෂීඩ් ඛාන් යැවූ සුපිරි ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ අතර දෙවැනි පන්දුවෙන් ලකුණක් කරා පැති මාරු කර ගත්තේය. තෙවැනි පන්දුට පොලාඩ් ලකුණු 2ක් ලබා ගනිමින් මුම්බායි පිලට ජය අත්කර දුන්නේය.

ලකුණු 162ක ඉලක්කය හඹාගිය හයිද්‍රබාද් ඉනිමේදී මනීෂ් පාණ්ඩේ නොදැවී ලකුණු 71ක් රැස් කළේ පන්දු 47ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මොහොමඩ් නබි පන්දු 20කින් ලකුණු 31ක් සහ විර්දිමාන් සාහා ලකුණු 25ක් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී හර්දීක් පාණ්ඩ්‍යා, කෘනාල් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක බැගින් දවාගත්හ. දැඩි ප්‍රහාරයකට ලක්වූ ලසිත් මාලිංග ඕවර 4කදී ලකුණු 43ක් ලබාගත් අතර කඩුලු දවා ගැනීමට නොහැකි විය.

හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 58කින් නොදැවී ලකුණු 69ක් රැස්කළ කුවින්ටන් ඩි කොක් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. නායක රෝහිත් ශර්මා පන්දු 18කින් ලකුණු 24ක් සහ සූර්යකුමාර් යාදව් පන්දු 17කින් ලකුණු 23ක් රැස් කළහ. පන්දු යැවීමේදී ඛලීල් අහමඩ් කඩුලු 3ක් දවා ගත්තේය.

මුම්බායි - 162/5 (ඕවර 20) කුවින්ටින් ඩි කොක් නොදැවී 69, රෝහිත් ශර්මා 24, සූර්යකුමාර් යාදව් 23 (ඛලීල් අහමඩ් 42/3)

හයිද්‍රාබාද් - 162/6 (ඕවර 20) මනීෂ් පාණ්ඩේ නොදැවී 71, මොහොමඩ් නබී 31, විර්දිමන් සාහා 25 (හර්දීක් පාණ්ඩ්‍යා 20/2, කෘනාල් පාණ්ඩ්‍යා 22/2, ජස්ප්‍රීට් බුම්රා 31/2)

 

නව අදහස දක්වන්න