දුම්රිය මගීන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් | දිනමිණ

දුම්රිය මගීන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

නිමල් රාජපක්ෂ

අන්තවාදීන් විසින් තවත් එවැනිම විනාශයක් සිදුකරන තෙක් බලා නොසිට, වහාම කියාත්මක වී දුම්රිය මගීන්ගේ, දුම්රිය සේවකයින්ගේ හා දුම්රිය දේපළ වල ආරක‍්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරය නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාලවිය. විවිධ රාජකාරී සඳහා කොළඹට එන ජනතාව පැමිණියේ නැත. රජයේ හා පෞද්ගලික අංශයේ වැඩබිම් සහ කාර්යාල වල පැමිණීම 50% කින් පහත වැටුණි. ජාතික ආර්ථීකය බිඳ වැටුණි. මේ නිසා මුළු රටම වසර ගණනාවකින් ආපස්සට ගියේය. මේ සියල්ල සිදුවූයේ ජාතික ආරක‍්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයේ තිබූ අඩුව නිසා බවද විතානගේ මහතා පවසයි.

සුපුරුදු පරිදි විවිධ කටයුතු සඳහා දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව වැඩිවී ඇති බැවින් එම මගී ජනතාවගේ, දුම්රිය සේවකයින්ගේ හා දුම්රිය දේපල වල ආරක‍ෂාව සැපයීම අප කාගේත් වගකීමකි. සිදුවූ විනාශයට වඩා වැඩි විනාශයක් සිදුවීමේ ඉඩකඩ ඉතා වැඩිය. අන්තවාදීන් විසින් තවත් එවැනිම විනාශයක් සිදුකරන තෙක් බලා නොසිට, වහාම කියාත්මක වන පරිදි දුම්රිය මගීන්ගේ, දුම්රිය සේවකයින්ගේ හා දුම්රිය දේපල වල ආරක‍්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතුව ඇත. විශේෂයෙන්ම මරදාන, කොටුව ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන වලත්, ධාවනය වෙමින් තිබෙන දුම්රිය වලත්, මගීන්ගේ හා සේවකයින්ගේ ආරක‍්ෂාව තහවුරු වන ආරක‍්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතා අත්‍යාවශ්‍ය වී ඇත.

මේ සඳහා දුම්රිය ආරක‍්ෂක සේවයේ දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. දුම්රිය ආරක‍්ෂක සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව 200 කට අධිකය. එම පුරප්පාඩු ප්‍රමාණය පිරවීමට තවත් කාලයක් ගත වන්නේ නම්, තාවකාලික පදනමින් හෝ දුම්රිය ආරක‍්ෂක සේවයට කඩිනමින් බඳවා ගැනීම සිදුකළ යුතු- බවට යෝජනා කරන අතර, ඒ සඳහා දැරීමට සිදුවන වැයබර ජාතික ආරක‍්ෂාව සඳහා දරණ වැයබරක් ලෙස සලකා කටයුතු කළ හැකිය.

කොතරම් අපහසුතාවයන් තිබුණද, පවතින අනාරක‍්ෂිත තත්ත්වය හමුවේ දුම්රිය මගීන්ගේ, දුම්රිය සේවකයින්ගේ හා දේපල වල ආරක‍ෂාව වෙනුවෙන් කඩිනම් ආරක‍්ෂක වැඩ පිළිවෙලක් යෙදවීමට ප්‍රවාහන හා සිවිල්ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග ,අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති,දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අවධානය යොමු කරන ලෙස මගී සංගම් හා වෘත්තීය සමිති ඉල්ලා සිටින බවද විතානගේ මහතා පවසයි.

නව අදහස දක්වන්න