රාජ්‍ය විරෝධී කිසිවක් එහි නෑ | දිනමිණ

රාජ්‍ය විරෝධී කිසිවක් එහි නෑ

මඩ ලිපි සම්බන්ධයෙන් ඇමැති කිරිඇල්ලගෙන් නිවේදනයක්

2019-05-02 දින රාත්‍රියේ මාධ්‍ය විසින් මාධ්‍යවේදීන්/ නිලධාරීන් තිදෙනෙකු ලිපි 600 ක් සමඟ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳ පළකළ පුවත සම්බන්ධයෙන්.

-----------

පාර්ලිමේන්තුවේ සභානායක,
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ
මහනුවර සංවර්ධන අමාත්‍ය
අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල (පා. ම.)

-----------

ඉහත සඳහන් මාධ්‍යවේදීන්/ නිලධාරීන් විසින් මාගේ පෙර දැනීමකින් තොරව Colombo Telegraph නමින් හැඳින්වෙන පිළිගත් වෙබ් අඩවියේ 2019-04-28 දින පළකරන ලද ලිපියෙහි උපුටාගත් කොටස්හි සිංහල පරිවර්තන ඇතුළත් ලිපියක් විහාරවාසීන් හා දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම උදෙසා යැවීමට කටයුතු කර ඇති බව මා හට දැනගන්නට ලැබුණි.

මා මෙම මස 21 වන දිනයෙන් පසු ආරක්ෂක හේතූන් මත ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයෙන් බැහැරව රාජකාරි කටයුතු සිදුකළ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු පසුව මෙම ලිපිය සම්බන්ධයෙන් සොයාබැලීමක් මා විසින් සිදු කරන ලදී.

මෙම ලිපිය කියවීමේදී ජාතිවාදය ඇතිකරන අන්දමේ කිසිදු අරමුණක්, කිසිදු මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් එහි අඩංගු නොවන බව මා හට හැ‍ඟෙන අතරම මෙහි අන්තර්ගත වනුයේ පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දින රටේ ඇතිවූ බිහිසුණු තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් බුද්ධි අංශ දැනුවත් කළේද යන්න පිළිබඳවය.

මෙම Colombo Telegraph ලිපියේ සඳහන් කරුණු අද වන තෙක් කිසිදු පුද්ගලයකු ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නැති බව ද සඳහන් කළ යුතුය.

එමෙන්ම මාධ්‍යවේදියකු හට රටේ නායකයන්, දේශපාලකයන් සහ රට තුළ ඇතිවන ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අයිතිය ඔවුන් සතුය. රටේ ආරක්ෂාව උදෙසා මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් හට ද ඒ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ලැබිය යුතු බව මාගේ විශ්වාසයයි.

මම මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටින්නේ ඉහත සඳහන් මාධ්‍යවේදීන්ගේ/ නිලධාරීන්ගේ විස්තර මාධ්‍ය වෙත මුදාහැරියා මෙන් මෙම සිදුවීමට අදාළ ලිපිය ද මාධ්‍ය වෙත මුදාහරින ලෙසට. එවිට ජනතාව යථාර්ථය කුමක්ද යන්න තේරුම් ගනු ඇත.

නව අදහස දක්වන්න