මාලිංගට දවස් 10ක විවේකයක් | දිනමිණ

මාලිංගට දවස් 10ක විවේකයක්

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට එම තරගාවලියට පෙර දින 10 ක විවේකයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

පසුගිය සති ගණනාවක් මුළුල්ලේදීම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැති සුපරි පළාත් තරගාවලියටද ක්‍රීඩා කළ මාලිංග සති ගණනාවක් මුළුල්ලේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියටද ක්‍රීඩා කරමින් දැඩි වෙහෙසට පත්ව සිටින බැවින් ඒ පිළිබඳව සලකා බලමින් ඉහත තීරණයට එළැඹ තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (07 දා) එංගලන්තය බලා පිටත්ව යන අතර ඊට පෙර ස්කොට්ලන්තය සමඟ එක්දින තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මාලිංගට එම තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද මඟ හැරෙනු ඇත.

කෙසේ වෙතත් ලබන 12 වැනිදා තෙක් අයි. පී. එල්. තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර එම තරගාවලියෙන් පසු මාලිංග ශ්‍රී ලංකාවට පැමිණ එම විවේකය ලබා ගැනීමට නියමිත බව මේ පිළිබඳව ‘දිනමිණ’ට අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේය.

තේරීම් කමටුවේදී ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ද මෙල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගවල සිට මාලිංග ක්‍රීඩා කිරිමට නියමිත බවයි.

“එයා ස්කොට්ලන්තයට එන්නේ නෑ. එක පාරටම ගහන එක එයාගේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ. ඒක නිසයි අපි තීරණය කළේ එයාට විවේකයක් ලබා දෙන්න. කොහොම වුණත් 18 වැනිදා හෝ 20 වැනිදා එංගලන්තයේ කාඩිෆ් වලට මාලිංග ඒවි” යැයි සඳහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දත්ත සැපයුම්කරුද මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියට සිය දායකත්වය ලබා දී තිබෙන අතර ඔහුද ලබන 18 වැනිදා කණ්ඩායම සමග එකතු වීමට නියමිත බවද මෙල් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

චමිල කරවිට

නව අදහස දක්වන්න