ජනපතිවරණයට ජ.වි.පෙ. එනවා | දිනමිණ

ජනපතිවරණයට ජ.වි.පෙ. එනවා

කේ.ඩී. ලාල්කාන්ත
ජ වි පෙ දේශපාලන මණ්ඩල සභික

අප්‍රේල් 21 ප්‍රහාරය සහ එහි ස්වභාවය, එම තත්ත්වය ඇති වීමට බලපෑ කරුණු, එයට විසඳුම් සෙවිය යුතු ආකාරය, ඉදිරි ජනාධිපති මැතිවරණය, වෘත්තිය සමිතිවල වත්මන් කාර්යභාරය, වැනි කරුණු පැහැදිලි කරමින් ජ වි පෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත එහා ඉවුරට එක් වේ.

*මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අර්බුදයකට ලක්වෙලා කියලා බොහෝ දෙනෙක් කියනවා. සංහිඳියාව ඉස්සරහට දාලා වත්මන් ආණ්ඩුව රට අර්බුදයකට ලක් කළා කියලයි ඔවුන් කියන්නේ. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

නූතන ලෝකයේ ධනේෂ්වර හා නිර්ධන පන්ති කියලා ප්‍රධාන රාජ්‍යයන් දෙකක් තියෙනවා. මේ දෙකෙන් හෝ වෙනත් ආකාරයේ රාජ්‍යයකට තියෙන මූලික වගකීමක් තමයි ඒ රාජ්‍යයේ ජීවත්වන ජනයාට ආරක්ෂාව සැපයීම. ලිබරල්වාදීන්ගේ, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදින්ගේ, මාක්ස් - ලෙනින්වාදීන්ගේ ඉදලා රාජ්‍යයක් ඇති වෙලා පැවැතිලා නැතිවෙලා යනතුරුත් අත්‍යවශ්‍ය මඟහැරිය නොහැකි වගකීමක් තමයි ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීම. ශ්‍රී ලංකාවේ තියෙන ධනේෂ්වර රාජ්‍යයට අද වෙනකොට ජනයාගේ ජීවිතය හා දේපල සුරක්ෂිත කරන්න බැරි වෙලා තියෙනවා. ඒ දෙක කරන්න බැරිවෙනකොට අනෙක් හැමදේම බිඳ වැටෙනවා. ආරක්ෂාව තමයි රාජ්‍යයක වැදගත්ම දේ.

*රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් ද?

මේ තත්ත්වය දීර්ඝ කාලයක ​සිට එන ප්‍රශ්නයක්. 71 කැරැල්ලක් නිර්මාණය වුණා. 83 කලු ජූලිය කියලා එකක් ආවා. 88 - 89 තවත් අරගලයක් නිර්මාණය වුණා. ප්‍රභාකරන් වෙනම ඊළමක් ඉල්ලලා තවත් සටනක් නිර්මාණය වුණා. මේ සියල්ල දිහා බැලුවොත් අවුරුදු දහයෙන් දහයට වගේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි පාලනයක් සහ රාජ්‍ය ව්‍යුහයන් ඇතිවෙලා තියෙනවා. මේ කාරණාවල අවසන් කාරණය විදිහට තමයි අපි පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරය දකින්නෙ.

71කැරැල්ල කලබලයෙන් සිදුකරගත් එකක් බවත් අප්‍රේල් 21 ප්‍රහාරයත් එවැනිම ආකාරයේ එකක් බවත් බොහෝ දෙනෙක් පෙන්නලා දෙනවා?

මේ ප්‍රශ්නය තුළ ගැබ්වෙලා තියෙන අර්ථය සම්පූර්ණයෙන් ම මම ප්‍රතික්ෂේප කරනවා. 71 කැරැල්ල ගත්තාම තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ආකෘතියක් තුළ වැඩකරපු ජවිපෙට එරෙහිව පාලකයන් ක්‍රියාත්මක වීමක්. 21 වැනිදා ප්‍රහාරයට ආගමික පදනමක් තිබෙනවා වගේම මතවාදයකුත් තියෙනවා. මේ පිපිරවීම් නිකම්ම පිපිරවීම් නෙවෙයි. එතැන මතවාදයක් හා දර්ශනයක් තියෙනවා. යම් කෙනෙක් මේ මතවාදී පදනම පිළිගත්තට පස්සේ ඒ ඔස්සේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අපි 71 විරුවන් සහ 88 - 89 විරුවන් සමරනවා. අපිට මේ පාලකයන් ඉදිරියේ ඒ විරුවන් සැමරීමට හැකියාව ලැබුණේ ජවිපෙ මතවාදයේ තියෙන බලවත්කමට. මතවාදයට අනුව මරාගෙන මැරුණ පුද්ගලයන්ගේ අරමුණ ඉෂ්ඨ වෙලා ඇති. අපේ සමාජය තුළත් විවිධ අන්තවාද සහ මතවාද තියෙනවා. මතවාදයට එහා ගිහින් අන්තවාදී ප්‍රහාර තියෙනවා. නූතන සමාජයේ අපි කවුරුත් අන්තවාදී මරා ගැනීම්වලට එකඟ නැහැ.

*එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කළ ලක් රජය වසර 10ක් ගතවෙන තැන නැවත වතාවක් අවදානමට ලක් වෙලා. මේ තත්ත්වය සම්බන්ධව ඔබගේ මතය මොකක් ද?

මේ ප්‍රශ්නය ඒ තරම් සරල නැහැ. එල් ටී ටී ඊ ය සටන් කළේ වෙනම ඊළමක් ඉල්ලලා. දෙමළ ජනයාට කියලා වෙන්වුණ වෙනම රටක් ලෝකයේ නැහැ. භාෂාවක්, සංස්කෘතියක් සහිත ඔවුන් ලෝකයේ රටවල් බොහොමයක ජීවත් වෙනවා.එහෙම කාලයක් ඉඳලා යුදෙව්වොත් ඊශ්‍රායලය හදාගත්තා. අපි කැමැති වුණත් අකමැති වුණත් ඔවුන් කියන වෙනම රාජ්‍යයක් බිහි කරගත යුතුයි කියන එකට මතවාදී බලයක් එනවා. ඒ මතවාදය තාමත් ලෝකයේ තියෙනවා. දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියන එක තවමත් තියෙනවා. එල් ටී ටී ඊ ය පරාජය කළා කියන්නේ යුදමය වශයෙන් විතරයි. ගෝලීය වශයෙන් ගත්තොත් සිංහල ජනතාව කියන්නේ ඉතා සුළු පිරිසක්. මේක අපේ රට, මේ රට බේරගන්න ඕන කියලා සිංහලයොත් හිතනවා . මේ වගේ මතවාද තියෙද්දී තමන්ගේ වුවමනාවන් ඉටු නොවෙනකොට අන්තවාද එනවා. ඒ නිසා පසුගිය ආණ්ඩුවටවත්, වත්මන් ආණ්ඩුවටවත් මේ ප්‍රශ්නවලට උත්තර නැහැ. මේවා බරපතළ සංකීර්ණ ගැටලු.

*හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට ආණ්ඩුවට සහ ජනපතිවරයාට එල්ල වෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?

මේක ඇති වුණේ හිටපු ආරක්ෂක ලේකම්ගෙ කාලෙ කියලා හරි ජනාධිපති වගකීම් හරිහැටි කළේ නැහැයි කියලා හරි කියන්න බැහැ. එහෙම කියනවාට වඩා මේ ප්‍රශ්නය සංකීර්ණයි සහ ගැඹුරුයි. සමහරු කෝ ජවිපෙ කියලා අහනවා. මේක සයිටම් වගේ පාරට බැහැලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නය ඉවසීමෙන් හා ඉතා සියුම්ව අධ්‍යයනය කරමින් ක්ෂණික, කෙටිකාලීන, මධ්‍ය කාලීන පුළුල් කාර්යයක්. මෙහි පළමු පියවර තමයි අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ පිළිගත් නීතියට අනුව කටයුතු කිරීම. ආරක්ෂක අංශ ඒ කාර්යය කරගෙන යනවා. රටේ ජනතාව ඊට සහය ලබාදෙනවා. මුස්ලිම් ජනතාවගෙන් මේ පිළිළය ඇඟ පුරා දුවලා නැති අයත් උදව් කරනවා.

*සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ව්‍යාපාරිකයා ඔබේ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් කියලා සඳහන් වුණා?

දෙමටගොඩ ව්‍යාපාරිකයා අප විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ කෙනෙක්. ජවිපෙ කියන්නේ පොදු ජනයාගේ ව්‍යාපාරයක් කියලා විග්‍රහ කළාට කෝ දෙමළ අය, කෝ මුස්ලිම් අය කියලා සමහරු අපෙන් අහනවා.සිංහල පක්ෂයක් කියලා අපිට චෝදනා නඟනවා. ඒ නිසා මුස්ලිම්, දෙමළ අය අපේ පක්ෂයේ ඉහළටම ගේන්න අපිට ඕන වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනඟන්න අපි උත්සාහ කරනවා. පහුගිය මැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකටම මුස්ලිම්, දෙමළ නියෝජන ඇතුළත් කරන්න අපි උත්සාහ කළා. අපේ ලැයිස්තුව ඇගයීමට පවා ලක් වුණා. ඊට හේතුව එහි තිබුණ විවිධත්වය. අත්අඩංගුවට පත් වුණ කෙනා මුස්ලිම් සමාජයේ සහ සිංහල සමාජයේ සමාජ බලයක් තියෙන හොඳ මනුස්සයෙක්. ඒ නිසා අපි ඔහු සම්බන්ධ කරගත්තා. ඔහු මේ අන්තවාදී කණ්ඩායම් එක්ක දැනුවත්ව කටයුතු කළා ද කියලා අපි තාම දන්නෙ නැහැ. එහෙම කරලා තියෙනවා නම් අපේ ලැයිස්තුවේ හිටියා කියලා නැහැ නීතියෙන් දඬුවම් කළ යුතුයි.

*ඉදිරි ජනපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දෙන්නේ කොහොමද?

පසුගිය ජනපතිවරණය ගැන කතා කළොත්, ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය බිඳ දැමීමට ගත් මූලික පියවර ගැන අදත් අපි සතුටු වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉදලා පහළට සියලු ආයතන දේශපාලනකරණය කරලා තිබුණා. ඒක බිඳ දැමීමේ වුවමනාවක් අපට තිබුණා. නමුත් ඊට විකල්පයක් මෛත්‍රීටයි රනිල්ටයි හදා ගන්න බැහැ. මේ ගෙවුණ කාලය තුළ ආණ්ඩු පාලනයක් තිබුණේ නැහැ; තිබුණේ බල පොරයක්. ඒ අය ජාතික ආරක්ෂාව ගැන කතා කරලා නැහැ. මෙතැන ආණ්ඩුකරණ ක්‍රියාවලිය බිඳ වැටිලා තියෙන්නේ. එතකොට මුළු රටම බිඳ වැටෙනවා. එහෙම ගියාම රට අරාජික වෙනවා. අපි දිගින් දිගටම කිව්වේ රාජ්‍ය අරාජිකයි කියලා. එහෙම තියෙද්දී තමයි ඉස්සරහට ජනාධිපතිවරණයක් එන්නේ. ඒ නිසා අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. වෙනත් කිසිම අපේක්ෂකයෙක් ගැන හෝ බලවේගයක් ගැන හිතන්න පුළුවන්කමක් අපට නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වට අපි හිතන්නෙ නැහැ එතුමාට එන්න පුළුවන් වෙයි කියලා. ඒකට අදාළ සාක්ෂි, කරුණු කියන්න මේ වෙලාව මදි. මෛත්‍රි ජනපතිවරයා ලැබුණ වගකීම හරිහැටි නොකරන ඊළඟ ජනපතිවරණය වෙනුවෙන් වැඩ කරනවා. එතුමාට ඊළඟ ජනපති වෙන්න ලැබුණ වගකීම ඉටුකරමින් ඉස්රහට ආවා නම් පුළුවන්කම තිබුණා. අද එතුමට එක කඳවුරක්වත් නැහැ. කොහොම හරි ජනපතිවරයා වෙන්න අගමැතිවරයාත් කල්පනා කරනවා.

*විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියපු ජවිපෙ ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා?

අපි 82දී පළමු ජනාධිපතිවරණයේ දිත් පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඉදිරිපත් කළා. ඒ වෙලාවෙත් අපි පොදු අපේක්ෂකයෙක් හෙව්වා. අපිට තියෙන උත්තර විදිහට බැලුවොත් අපිට නොඉල්ලා ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා කාගෙ හරි වුවමනාවකට එහෙම කරනවා කියලා. ඒ නිසා කාට බලපෑවත් අපේ අනන්‍යතාව මත වැඩ කරනවා. අපි අපේක්ෂකයෙක් දාන එක රාජපක්ෂ කඳවුරට වාසියි කියලා කියන්න පුළුවන්. මේවා ඩීල් කියන්න පුළුවන්. මේවා ඩීල් නෙවෙයි සංකීර්ණ දේශපාලන ප්‍රශ්න. ඒ නිසා අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන එක හැම පැත්තකින්ම හොඳයි කියන මතයේ අපි ඉන්නවා.

20 වැනි සංශෝධනයෙන් 13 වැනි සංශෝධනයට බලපෑම් එල්ල වෙයි ද?

මේ ප්‍රශ්නය ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන. විධායක ජනාධිපතිවරයෙක් ඉන්නකොට ජනපතිවරයාට තියෙන බලය අනුව, ජනාධිපති බෙදුම්වාදයට විරුද්ධ නම් බලය බෙදීම් පිළිබඳව රටේ ඇතිවන තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ජනපතිවරයා බෙදුම්වාදියෙක් නම් අනෙක් පැත්තට හැරෙන්නත් පුළුවන්. ඒ නිසා බලය බෙදීම කියන එක උපරිමයෙන් සිදු වෙන්න ඕන. උපරිම බලය ලැබෙන්න ඕන පුරවැසියාටයි. හරි ප්‍රජා පාලනයක් නම් එහෙම තමයි වෙන්න ඕන. සමාජයේ තියෙන විසමතාව අනුව බලය බෙදනවා කියන කාරණය හරිම පරිස්සමෙන් කළ යුතුයි. 13 වැනි සංශෝධනය තියෙන ස්වරූපයේ වෙනසක් 20න් වෙන්නේ නැහැ.

*කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද?

වෘත්තීය සමිති ව්‍යාපාරයේ අර්ථය ඉක්මවා ගිය තැනකට ලෝකයත් රටත් ඇවිත් තියෙනවා. දැන් තියෙන්නේ පුරවැසියා මූලික වුණ සමාජයක්. කම්කරු පන්තිය, වැඩ කරන ජනතාව කියලා කිව්වම ඒක පිළිගත්ත එක්තරා යුගයක් තිබුණා. ගෙවුණ කාලය පුරා ඔවුන්ට ගොඩක් අයිතිවාසිකම් ලැබිලා තියෙනවා. දැන් වැඩකරන පන්තියත් කල්පනා කරන්නේ පුරවැසියෝ විදිහටයි. ඒ නිසා දැන් කතා කරන්න වෙන්නේ වැඩකරන පන්තියේ අයිතිය වෙනුවට පුරවැසි අයිතිවාසිකම් ගැනයි. ඇත්තටම දැන් වෘත්තීය සමිති පුරවැසි අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාර විදිහට පෙරළන්න ඕන. අපිට උත්තරයක් හොයා ගන්න වෙන්නේ ඒ තුළ තමයි.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-ගයාන් පුෂ්පික

 


නව අදහස දක්වන්න