පුරවැසි වගකීම! | දිනමිණ

පුරවැසි වගකීම!

මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේ දී පෙරේදා ඇතිවූ සිද්ධිය මේ වන විට රහසක් නො වේ. අප එසේ සඳහන් කරනුයේ සිද්ධියේ ඇත්ත/නැත්ත දැන් ජනතාව දන්නා නිසා ය. එබඳු සිද්ධි නොසිදුවිය යුතු අතර අදාළ සිද්ධියෙන් පෙනී යන්නේ ඇතැමුන් කෙතරම් ළද - බොළඳ ලෙස හැසිරෙත් ද යන්න ය. අප පසුවන්නේ සංවේදී අවස්ථාවක ය. මෙබඳු අවස්ථාවක අපගේ චර්යා රටා කෙරෙහි අප ම ස්වයං විවේචනයක යෙදීම වැදගත් ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ද අපේ ජනතාව ඉතා සංයමයෙන් හා බුද්ධිමත් ව ක්‍රියා කළ බව රහසක් නොවේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට ලෝකයාගේ ගෞරවය ද ලැබිණි. එහෙත් පෙරේදා සිද්ධිය නිසා ඒ සියල්ල විනාශ වන්නට ඉඩ තිබිණි.

අදාළ සිද්ධිය නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ මුහුදේ දිය නාමින් විනෝද වීමට ගිය පිරිසක හා ගම්වාසීන් කිහිපදෙනකු අතර මතු වූ සුළු ආරවුලක් දුරදිග ‍ගොස් ඇති බව ය. පසුව ඊට ජාතිවාදී හා ආගම්වාදී ස්වරූපයක් ලබා දී ඇත්තේ මේ රටේ සමාජ වෙබ් අඩවි ක්‍රියාකරන්නන් ය. සිද්ධියෙහි ඇත්ත/ නැත්ත නිරීක්ෂණය නොකර හිතුමතේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මුළු රට ම ගිනි ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබිණි. ඇතැම් වෙබ් අඩවිවල සඳහන් වූයේ ආගමික මධ්‍යස්ථානවලට පහර දෙන බව ය. තව වෙබ් අඩවිවල සඳහන් වූයේ පුද්ගලයන් කපා -‍ කොටා මරා දමන බව ය. මේවායින් සමාජය ප්‍රකෝපකාරී වෙයි.

ඕනෑ ම කෙනකුට තමාගේ යතුරු පුවරුවෙන් අකුරු කොටන්නට පුළුවන. කොටන අකුරු මතින් එළියට එන අදහස් සමාජගත කරන්නටත් පුළුවන. ඊට සීමා-මායිම් නැත. තාක්ෂණික ව ඇතිකරන බාධාවන් පවා පරාජය කිරීමේ හැකියාව, අකුරු කොටන අයට ද, ඒවා බලන අයට ද තිබේ. අද අප ඉදිරියෙහි ඇත්තේ සදාචාර සීමා හා ආචාර ධර්ම ඉක්මවා යන තාක්ෂණික මාධ්‍ය සමූහයකි. අදහස්, විවේචන හා තොරතුරු සංස්කරණයකින් තොරව සමාජගත වීම නිසා ඉතා ඉක්මනින් සමාජය නොමඟ යයි. සමාජ වෙබ් අඩවි මේ වන විටත් රටට සිදුකර ඇති හානිය ඉතා බරපතළ ය. මීගමුව සිද්ධිය ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේ ද මේ බලපෑම නිසා ය.

මේ මොහොතේ රටේ ආරක්ෂක අංශවලට අප කාගේත් කෘතඥතාව හිමිවිය යුතු ය. කෙටි කාලයක් තුළ තත්ත්වය පාලනය කිරීමට ද, ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමට ද ආරක්ෂක අංශ සමත් විය. යුද හමුදාවේ යතුරුපැදි හමුදාව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. ගම්මානයක්, මහාමාර්ගයක්, සංචාරක කලාපයක් හා කලහකාරී කණ්ඩායමක් සමථයකට පත්කරමින් මුළු පළාත ම සාමයෙහි පිහිටුවීම සංකීර්ණ කාරණයෙකි. රටේ පවතින වාතාවරණය හා ‍සමාජයේ පැතිර යන බොරු ආරංචිවලට අනුව මෙබඳු සමථයක් ඇතිකිරීම තවත් දුෂ්කර ය. එහෙත් ආරක්ෂක අංශ ඉතා කෙටි කාලයක් තුළ තම යුතුකම ඉටුකර තිබේ.

කොළඹ අගරදගුරු කාදිනල් පියතුමා මුළුමහත් ජාතියෙන් ම ඉල්ලීමක් කළේ ය. එම ඉල්ලීම තුළ ඉතා වැදගත් පණිවිඩ කිහිපයක් තිබේ. එක; පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු ජනතාව දැක්වූ ඉවසීම හා සංයමය විනාශ කරගන්නට එපා යන්න ය. දෙක; මේ මොහොතේ සියලු ප්‍රකෝපකාරී හැඟීම්වලින් ද, ක්‍රියාකාරකම්වලින් ද වැළකී සිටිමු යන්න ය. තුන; සමාජ වෙබ් අඩවි ක්‍රියාකරන්නන් ද, ඒවායින් තොරතුරු ලබාගන්නා උදවිය ද ඉතා පරෙස්සමෙන් ඒවා භාවිත කිරීම උචිතය යන්න ය. එහි අර්ථය වන්නේ බොරු ප්‍රචාරය නොකරන්න! හා බොරුවලට නොරැවටෙන්න! යන්න ය. සමාජ වෙබ් අඩවිවල එන තොරතුරු තහවුරු කළ ඒවා නොවේ. එහි වගකීම ගනු ලබන ආයතනයක් නැත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත රුසියානු සංචාරක කණ්ඩායමක් ජනමාධ්‍යයට කියා තිබුණේ මෙරට ජනතාව ඉතා සුහදශීලී කාරුණික පිරිසක වන බැවින් ආරක්ෂාව ගැන කිසිදු බියක් ඇති නො වන බව ය. මීගමුව - කොච්චිකඩේ සිද්ධියෙහි ඇත්ත/ නැත්ත ද මේ සංචාරකයන් අතරට පත්වනු ඇත. ඉනික්බිති ඔවුන් ශ්‍රී ලංකාව හා එහි ජනතාව ගැන කෙබඳු අදහසක් ඇතිකර ගනිත්දැ’යි කිව නො හැකි ය. සංචාරක කර්මාන්තය මේ වන විටත් අර්බුදයට ලක් වී ඇත. ප්‍රහාරයට පෙර සීගිරියට පැමිණි විදේශීය සංචාරකයන්ගේ දෛනික ගණන දෙදහස ඉක්ම වූ බව ද අද වන විට එය පනස් දෙනකු දක්වා පහළ බැස ඇති බව ද වාර්තා වෙයි.

බැලූ බැල්මට පෙනී යන්නේ ‍රටේ බුද්ධි අංශවලට නැති තොරතුරු වෙබ්කාරයන් ළඟ ඇති බව ය. උතුරට බෝම්බ ලොරි විස්සක් පිටත්කර යවා ඇතැ’යි එක් ආරංචියක් පැතිර ගියේ ය. රටේ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ සැලැස්මක් ඇතැ’යි තවත් ආරංචියක් පැතිර ගියේ ය. මේවා ප්‍රචාරය කරන්නේ වෙබ් අඩවි ඔස්සේ ය. ඉහත ආරංචි දෙක ම අසත්‍ය ප්‍රචාර පමණක් බව ආරක්ෂක අංශ තහවුරු කරයි. මේවා නිර්මාණය කරන අය එයින් රටට සිදුවන හානිය අබමල් රේණුවකට තරම් ගණන් ගන්නේ නැත. විදේශීය සංචාරකයන් අතට මේ ප්‍රවෘත්තිය නොයා සිටින්නට හේතුවක් නැත. රජය එක අතෙකින් සංචාරක ප්‍රවර්ධනය සදහා විශාල පරිශ්‍රමයක් දරයි. ඒ අතර නොහික්මුණු අකුරු කොටන්නෝ එය විනාශ මුඛයට ගෙන යති. මෙය ජාතික අපරාධයක් නො‍වේ ද?

චීනය ලෝකයේ දෙවන විශාල ම ආර්ථිකය සහිත රාජ්‍යය බව අපි පිළිගනිමු. එක තීරයක් - එක මාවතක් යන විශ්වීය ආර්ථික වැඩසටහන යටතේ තවදුරටත් සිය ආර්ථික ජාලය ශක්තිමත් කර ගැනීමට ඔව්හු සමත් වී සිටිති. දැනට ම රටවල් එකසිය පහළොවක් ඊට එකතු වී ඇත. එහෙත් චීනය සමාජ වෙබ් අඩවිවලට සීමා - මායිම් ලකුණු කර ඇත. එරට සමාජ වෙබ් අඩවි භාවිත කරන අයට බොරු ප්‍රචාරය කිරීමට හා තම සිතැඟි නිදහසේ පළකිරීමට ඇති අවස්ථා අඩු ය. ශ්‍රී ලංකාව ද එබඳු තැනකට යා යුතුව තිබේ. වෙබ් අඩවි රටක සංවර්ධනය සඳහා යොදාගත හැකි නමුදු මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන සියල්ලන්ට ම ශික්ෂණයක් හා හොඳ අධ්‍යාපනයක් ඇතැ’යි පිළිගත නො හැකි ය.

සිදුවීමට ගිය මහා විනාශයක් යාන්තමින් සමහන් වූයේ යැයි අපට සතුටුවිය හැකි ය. එහෙත් අන්තරාය මුළුමනින් ම පහව ගොස් නැත. අළු යට ගිනි මෙන් කෝපය හා වෛරය තිබෙන්නට පුළුවන. දැන් අපගේ අවධානය යොමුවිය යුත්තේ ඉදිරියේ දී මෙවන් සිද්ධි නොවීමට වගබලා ගැනීම ය. ඒ සඳහා සෑම පුරවැසියකුම වගවීමකින් ක්‍රියා කළ යුතු ව තිබේ. මේ අපේ රට බවත් රට ආරක්ෂා කිරීම පළමු පියවර විය යුතු බවත් සියල්ලන් ම අවබෝධ කර ගත යුතුව තිබේ.

 


අදහස් 1ක් ඇත

Great

නව අදහස දක්වන්න