දිනන කණ්ඩායම් අතර අපේ නම නැති එකත් හොඳයි | දිනමිණ


 

දිනන කණ්ඩායම් අතර අපේ නම නැති එකත් හොඳයි

හතුරුසිංහ කියයි

සැලසුම් කළ අයුරින්ම පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව අහිමි වුවත් කල් තියාම ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට අවස්ථාව උදාවීම ඉතාමත් වැදගත් බව සඳහන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ, වඩාත්ම වැදගත් වන්නේ දක්ෂතා දැක්විය යුතු අවස්ථාවන්වලදී ක්‍රීඩකයන් සියල්ල දක්ෂතා අතරට පැමිණීම බව අවධාරණය කරයි. එසේ වුවහොත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දුර යෑමේ හැකියාව පවතින බව තමා විශ්වාස කරන බවද හතුරුසිංහ මහතා පැවැසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (07 වැනිදා) උදෑසන එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව සිටින අතර ඊට පෙර කණ්ඩායමට මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමේ චාම් උත්සවයක් ඊයේ (06 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැත්විණ.

ආගමික වතාවත් වලට සහභාගිවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හතුරුසිංහ මහතා, "සැලසුම් කරලා තිබුණ විදියට අපිට මෙහේ පුහුණුවීම් කරන්න බැරි වුණා. නමුත් කළින් තරගාවලියට පිටත්ව යෑමට හැකිවීම ඉතාම වැදගත්. මොකද කළින් එහෙට යන තරමට අපිට පුහුණුවීම් කිරීම මෙන්ම තණතීරුවලට හුරුවීමටත් වැඩි කාලයක් හිමි වෙනවා" යැයි ද පැවැසීය.

මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායම් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නම නොකියැවෙන නමුත් එයද තම කණ්ඩායමේ සාර්ථකත්වය බලපා හැකි කරුණක් විය හැකි බවද හතුරුසිංහ මහතා ප්‍රකාශ කරයි.

"මේ තරගාවලිය දිනනවා කියන කණ්ඩායම් අතර අපි නෑ. ඒක පැති දෙකකට ගන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ තරගාවලියට හොඳින් සූදානම් වීම මෙන්ම හරි සැලැස්මක් අනුව තරගයට ක්‍රීඩා කිරීමයි. මේ මොන දේ තිබුණත් වැදගත් වන්නේ ඒ දවසෙදි අපි කොහොමද, අපේ ක්‍රීඩකයෝ කොහොමද එයාලගේ දක්ෂාතවන් පෙන්නුම් කරන්නේ කියන එක ගැන. ඒ අනුව තමයි අපේ ජයග්‍රහණය හෝ පරාජය රඳා පවතින්නේ. අනිත් දේ තමයි ප්‍රතිවාදී කණ්ඩායම් අපිව සැහැල්ලුවට ගැනීමයි. ඔවුන් අපිව සැහැල්ලුවට ගත්තොත් ඒකත් අපිට අවස්ථාවක් වෙනවා ඔවුන්ට එරෙහිව තරග ජයග්‍රහණය කරන්න" යැයි හතුරුසිංහ මහතා කියයි.

කණ්ඩායමේ එකමුතු භාවය පිළිබඳවද මෙම අවස්ථාවේදී කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නගෙන් කරුණු විමසා සිටි අතර ඒ පිළිබඳව පිළිතුරු දෙමින් පවසා සිටියේ ටෙස්ට් කණ්ඩායමේ සිටි කණ්ඩායමට වඩා වෙනස් සංචිතයක් එක්දින තරගාවලියේදී ලැබී තිබෙන බවත්, එයට හිටපු නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනකුම ඇතුළත්ව සිටියත් ඔවුන් සියළු දෙනාගේම සහයෝගය තමාට ලැබී තිබෙන බවත්ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව යනු අභියෝග හමුවේ කෙදිනකවත් පැන නොගිය රටක් බවත්, ඒ අයුරින්ම ක්‍රිකට් කණ්ඩායමද තමන් හමුවේ ඇති ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනු ඇති බව තමා අපේක්ෂා කරන බවත්ය.

"කවදාවටත්ම වඩා මේ ලෝක කුසලාන තරගාවලිය වැදගත් කියලා මම හිතනවා. රටක් හැටියට, ක්‍රිකට් කණ්ඩායම හැටියට අපි ගැන අවිශ්වාසයෙන් කතා කරන වෙලාවකයි ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාසයකින් මේ තරගාවලියට පිටත්ව යන්නේ. අන්න ඒ නිසා මේ වෙලාවේ අපේ ආශිර්වාදය ඔවුනට ලබා දිය යුතුයි" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

"ලංකාව කියන්නේ අභියෝග හමුවේ කවදාවත් පැනල ගිය රටක් නොවෙයි. ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායමත් අභියෝග හමුවේ හොඳට මුහුණ දෙන්න පුළුවන්වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ ක්‍රීඩකයින් හොද ආත්ම විශ්වාසයක් තියෙන කණ්ඩායමක්. ඒ අනුව මම රටක් හැටියට එකම ඉල්ලීමයි කරන්නේ. රටක් හැටියට පිටුපසින් එකට ඉන්නවා වගේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙනත් එකට ඉඳලා කණ්ඩායමට අවශ්‍ය ශක්තිය දෙන්න කියලා මා හැමෝගෙන්ම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා" යනුවෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායාරූපයද ඊයේ දිනයේදී ලබා ගත් අතර ඒ සඳහා අතිරේක සංචිතයේ පසුවන ක්‍රීඩකයන් සිව් දෙනා වූ ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග සහ කසුන් රජිත ද එක්වී සිටීම කැපී පෙනුණි.

අතිරේක ලැයිස්තුවට ඇතුළත් ව සිටින ඔවුන් සිවුදෙනාද අද පිටත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එංගලන්තය බලා පිටත්ව යනු ලබන බව ක්‍රිකට් ආයතන ප්‍රධානී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය. තරගාවලිය අතරතුර යම් ක්‍රීඩකයකු ආබාධයකට ගොදුරු වුවහොත් ඉන් එක් අයෙකු ඒ සඳහා ආදේශ කිරීමේ දී එංගලන්ත දේශගුණය මෙන්ම තනතීරු පිළිබඳව හොඳ අවබෝධයක් ඔවුන් තුළ ඇති කරලීම අරමුණ ඇතිව ඔවුන්ව ද සංචාරක කණ්ඩායමට එක් කිරීමට පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

මෙම අවස්ථාවට ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, යන මහත්වරු සහභාගිවූහ.

චමිල කරවිට

නව අදහස දක්වන්න