හෝප්ගෙන් සහ කැම්බල්ගෙන් එක්දින පිටියේ වාර්තාවක් | දිනමිණ


 

හෝප්ගෙන් සහ කැම්බල්ගෙන් එක්දින පිටියේ වාර්තාවක්

ජාත්‍යන්තර එක්දින තරග බිමේ පළමු කඩුල්ල සඳහා වන ඉහළම සම්බන්ධතාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලේ ආරම්භක පිතිකරුවන් වන ජෝන් කැම්බල් සහ ෂායි හෝප් සමත්වූහ.

කොදෙව් පිල, අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අයර්ලන්තය සමග පෙරේදා පැවැති තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඔවුහු මේ ලෝක වාර්තාව තැබූහ.

මේ දෙදෙනා එක්ව බිඳ දැමුවේ පසුගිය වසරේ ජූලි මාසයේ දී පාකිස්තානයේ ඉමාම් උල් හක් සහ ෆකාර් සමාන් එක්ව සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 304ක සම්බන්ධතාවය. එම තරගයේදී හක් ලකුණු 113ක් රැස් කළ අතර සමාන් නොදැවී ලකුණු 210ක් වාර්තා කළේය.

එය එක්දින තරග බිමේ පළමු කඩුල්ල සඳහා වන ඉහළම සම්බන්ධතාව මෙන්ම එක්දින තරග බිමේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම දෙවැනි සම්බන්ධතාව ලෙසත් වාර්තාපොතට එක්විය. එක්දින තරග බිමේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සම්බන්ධතාව වන්නේ වසර 2015 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් දූපත් කණ්ඩායමේ ම ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් එක්ව සිම්බාබ්වේ පිලට එරෙහිව රැස් කළ ලකුණු 372ය. එහිදී ගේල් ලකුණු 215ක් රැස් කළ අතර සැමුවෙල්ස් නොදැවී ලකුණු 133ක් ලබා ගත්තේය.

ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වී ඇති හොඳම සම්බන්ධතාව ලකුණු 372 කි. 2015 වසරේ පෙබරවාරි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයදී ක්‍රිස් ගේල් (215) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) එක්ව එම සම්බන්ධතාව පිහිටුවා තිබේ.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල වෙනුවෙන් ඉනිම ඇරැඹූ මේ දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 365 දක්වා ඉහළ දමමින් අයර්ලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයකට ඇද දැමූ අතර කැම්බල් ලකුණු 179කට දැවී යනවිට පන්දු 137කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 6ක් එල්ල කර තිබිණ. දෙවැනි කඩුල්ල ලෙස හෝප් දැවී ගියේ ලකුණු 170කටය. ඔහුගේ ඉනිමට පන්දු 152ක් වැයවූ අතර ඊට හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 3කට ලකුණු 381ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිල ඕවර 34.4කදී ලකුණු 185කට දැවී ගියේ කොදෙව් පිලට ලකුණු 196ක ජයක් හිමිකර දෙමිනි.

නව අදහස දක්වන්න