දෝනිගේ පිත්තට මාලිංගගෙන් යෝකරයක් | දිනමිණ

දෝනිගේ පිත්තට මාලිංගගෙන් යෝකරයක්

අවසන් පූර්ව තරග වරම් ලබන ප්‍රධාන කණ්ඩායම් දෙක අතරට පැමිණීමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරග අවස්ථාව දිනා ගැනීමට පෙරේදා රාත්‍රියේදී සමත්විය. ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත අතර එම තරගය අද රාත්‍රියේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොල්කටා පිල පන්දුවාර 20 දී කඩුලු 7 ක් දවා ගනිමින් ලකුණු 133 කට නවතාලීමට ලසිත් මාලිංග ප්‍රමුඛ මුම්බායි ඉන්ඩියන්ස් පන්දු යවන්නන් සමත්වූ අතර එහ හඹා ගිය පිතිකරුවෝ පන්දු 23 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. මෙහිදී පන්දුවෙන් කැපී පෙනුණු මාලිංග පන්දු වාර 4 ක් යවා ලකුනු 35 කට කඩුලු 3 ක් දවා ගත් නමුත්, තරගයේ වීරයා සම්මානය ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත් මුම්බායි ඉන්ඩියන්ස් පිලේ හර්දික් පාන්ඩ්‍යාට හිමිවිය.

මෙවර අයි. පී. එල්. තරගාවලියේ මූලික වටය යටතේ පැවැති අවසන් තරගය ලෙසින් පැවැත් මෙම තරගයට පෙර චෙන්නායි සුපර් කිංග්ස් සහ කිංග්ස් XI පන්ජාබ් පිල තරග වැදුණු අතර එම තරගයෙන් කිංග්ස් XI පන්ජාබ් පිල ජය වාර්තා කළද ලකුණු අවසන් කණ්ඩායම් 4 ට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවිය.

මෙවර තරග වාරයේ සහභාගි වූ තරග 14 න් 9 ක් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්ඩියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් සමත්වී සිටින අතර දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව එම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථාන 3 හි පිළිවෙළින් පසුවෙයි.

එම තරග වටයට සුදුසකම් ලබා සිටින සිව්වැනි කණ්ඩායම වන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වන අතර ඔවුන් තරග 6 ක් ජයග්‍රහණය කරමින් එම අවස්ථාව දිනාගෙන සිටියි. සන්රයිසස් හයිද්‍රාබාද්පිලට අමතරව කල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් පිල තරග 6 බැගින් ජයග්‍රහණය කර තිබෙන නමුත් පෙර කී දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් කණ්ඩායම් 4 ට යෑමේ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් පිල උදා කරගෙන තිබේ.

අද පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් 2 න් ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් වුවද අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීම සඳහා ඔවුනට තවත් අවස්ථාවක් හිමිවනු ඇත. දක්ෂතම කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට යෑමේ අවධානම අවම කිරීම වෙනුවෙන් අයි. පී. එල්. සංවිධායකවරුන් විසින් එලමිනේටර් නම් සුවිශේෂී තරගයක් තරග කාල සටහන් ඇතුළත් කර තිබෙන අතර එම තරගයේදී තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවන කණ්ඩායම් තරග වැදිනු ඇත. ඒ අනුව එම තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම අවසන් පූර්ව තරගයේ පරාජිත කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර එම තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයින් සමඟ තරග අවසන් මහ තරගයේදී තරග වැදීමට නියමිත වනු ඇත.

මේ අතර තරගාවලියේ පළමු වටය අවසන් වත්ම එහි වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ඩේවිඩ් වෝනර් පසුවන අතර හෙතෙම මෙවර තරග වාරයේ තරග 12 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 692 ක් ලබා සිටියි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.2 ක් ලෙස රඳවාගෙන සිටින වෝනර් මෙවර තරග වාරයේදී ශතකයක් සහ අර්ධ ශතක 8 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියි.

පන්දු යවන්නන් අතර දිල්ලි කැපිටල්ස් පිලේ කගිසෝ රාබඩා පෙරමුණේ පසුවන්නේය. තරග 12 කට ක්‍රීඩා කර ඇති රාබඩා කඩුලු 25 ක් බිඳ හෙළා ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 14.72 ක් ලෙසින් සටහන් වේ.

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන විරාත් කෝලි බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිලේ නායකයා ලෙසින් කටයුතු කලද මෙවර තරගාවලියේ අවම දක්ෂතා දැක්වූ කණ්ඩායම ලෙසින් පළමු තරග වටයෙන්ම ඉවත්වීමට ඔවුන්ට සිදුවීමද තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

 


නව අදහස දක්වන්න