ඉකුත් වසර හතරට මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති 18ක වැඩ අවසන් | දිනමිණ

ඉකුත් වසර හතරට මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති 18ක වැඩ අවසන්

නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේඛ දිස්ත්‍රික් සමූහ

 

ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය හා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පසුගිය වසර හතරට මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති 18ක වැඩ අවසන් කර තිබේ.

මෙමගින් අලුත් ජල සම්බන්ධතා 440,220ක් ලබා දී ඇතැයි නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේය.

වාර්ෂිකව නව ජල සම්බන්ධතා 110,000 ක් පමණ ලබා දීමද සිදු කෙරේ. වකුගඩු රෝගාබාධ ශීඝ්‍ර යෙන් පැතිරී යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට අනුරාධපුර යාන් ඔය ජලාශය හා මහකනදරාව ජලාශය කේන්ද්‍ර කොට ගත් විසල් පානීය ජල යෝජනා ක්‍රම දෙකක වැඩ ජයිකා මූල්‍ය අනුග්‍රහය මත ආරම්භ කර ඇත. චීන රජයේ මූල්‍ය පහසුකම් යටතේ රාජාංගනය ජලාශය ජල මූලාශ්‍රය වශයෙන් යොදා ගෙන තඹුත්තේගම ජල ව්‍යාපෘතියේ ඉදි කිරීම් වැඩ නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.

ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින මැදවච්චිය, රඹෑව, මිහින්තලේ, කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රදේශයන්හි තුන් ලක්ෂයක ජනතාවට මෙමගින් 2021 වන විට ආරක්ෂිත පානීය ජල පහසුකම් සැලසෙනු ඇත.

මේ අතර ලෝක බැංකු ආධාර යටතේ කදුකර ප්‍රදේශයේ සහ වියළි කලාපයේ ඈත දුෂ්කර ගම් නියම් ගම් දහසකට ආරක්ෂිත පානීය ජල පහසුකම් සැපයීමේ වැඩසටහනක් ජල සම්පාදන අමාත්‍යාංශය මගින් දියත් කොට ඇත.

මේයින් ජල හිඟයෙන් පීඩිත පවුල් පන් ලක්ෂයකට සෙත සැලසෙන අතර, ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන දස දහසක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ තොරතුරුවලට අනුව 2015 වන විට මෙරට ජනයාගෙන් 86% ක ප්‍රමාණයකට ජල සේවා සැපයුම් සපයා තිබූ අතර, එම සංඛ්‍යාව 2018 අවසන් වන විට 96.6% දක්වා ඉහළ තලයකට ළඟා වී තිබේ. 2015 දී පානීය ජලය සපයා දීමට රජය වැය කර ඇති මුදල රුපියල් මියන 34435 කි. 2016 දී මේ සඳහා රුපියල් මිලියන 64550ක් ද, 2017 දී රුපියල් මිලියන 82224ක් ද ආයෝජනය කර තිබේ. පසු ගිය වසරේ ආරක්ෂිත ජල සැපයුම පුළුල් කිරීම සඳහා රජය රුපියල් මිලියන 109,153 ක මුදලක් වැය කොට තිබේ.

අප ජීවත් වන පෘතිවි තලයෙන් 2/3 ක ප්‍රමාණයක් ජලයෙන් ආවරණය වී තිබේ. සමස්ත ජල ධාරිතාව ඝණ මීටර් බිලියන 36 වූවත්, මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගත හැක්කේ එයින් ඝන මීටර් බිලියන 1.4ක් පමණි.

වර්තමාන ලෝක ජනග්‍රහණයෙන් බිලියන 2.1ක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැතිව ජීවත් වෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 5 ට අඩු ළමුන් 700ක් පමණ දිනකට ජලය ආශ්‍රිත රෝග නිසා මිය යයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ජනතාවගෙන් 90%කට වැඩි පිරිසකට ආරක්ෂිත පානීය ජල පහසුකම් සලසා දී තිබේ. නල ජල පහසුකම් ආවරණය 50%ක් ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය ආසියාවේ දියුණුම රටවල් කීපයක් හැරැණු කොට සෙසු රටවල්වලට සාපේක්ෂව ඉතා සතුටුදායක තත්ත්වයකි.


නව අදහස දක්වන්න