විහාරස්ථානයක නිදන් හෑරූ ව්‍යාපාරිකයා සහ සොහොයුරා අත්අඩංගුවට | දිනමිණ

විහාරස්ථානයක නිදන් හෑරූ ව්‍යාපාරිකයා සහ සොහොයුරා අත්අඩංගුවට

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

දෙනගම විහාරස්ථානයක නිදන් වස්තු සොරකම් කිරීමට සැකපිට දෙනගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය පවසයි.

දැනට මාස හතරකට පෙර විහාරස්ථානයේ නිදන් වස්තු සොරකම් කර ඇතැයි සැලකෙන අතර මෙයට පෙර ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

නිදන් ගැනීමට කැණීම් සිදුකරන ලද ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව මගින් සංරක්ෂණය කරන ලද ස්ථානයක් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙනගම ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි හා හතළිස් හත් හැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වන අතර සැකකරුවන් දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර පොලිස් අධිකාරී ජී. එච්. මාරපන, සහකාර පොලිස් අධිකාරී බුද්ධික ජයසුන්දර මහත්වරුන්ගේ උපදෙස් පරිදි හක්මණ පොලිස් ස්ථානාධිපති නලීන් වීරවර්ධන, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්. ප්‍රේමතුංග, උප පොලිස් පරීක්ෂක කේ. රණසිංහ, පොලිස් සැරයන් ජයසේන, පොලිස් කොත්තාපල් වසන්ත යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


නව අදහස දක්වන්න