වැලිකන්දේ-නුවරඑළියේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු 2ක් වටලයි | දිනමිණ

වැලිකන්දේ-නුවරඑළියේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු 2ක් වටලයි

ගයාන් කුමාර වීරසිංහ

ජාතික තවුහිද් ජමාත් සාමාජිකයන්ට සටන් පුහුණුව ලබා දුන් තවත් පුහුණු කඳවුරක් සහ පුහුණු මධ්‍යස්ථානයක් වැලිකන්ද රිදී තැන්නෙන් සහ නුවරඑළිය බැලැක්ෆූල් ප්‍රදේශවලින් ඊයේ (6 ) සොයාගෙන තිබේ.

වැලිකන්ද කඳවුර සොයාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. නුවරඑළිය බ්ලැක්ෆුල් හී පිහිටි පුහුණු මධ්‍යස්ථානය සොයා ගනු ලැබුවේ නුවරඑළිය පොලීසියේ නිලධාරීන් විසිනි.

අම්පාරේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් එම පුහුණු මධ්‍යස්ථාන ගැන තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

වැලිකන්දේ පුහුණු කඳවුර අක්කර 40ක් පමණ විශාලය. එම පුහුණු කඳවුරු භූමිය පවත්වාගෙන ගොස් ඇත්තේ ගොවිපොළක් ලෙස බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එහි වළ දමා තිබී එකක් ග්රෑම් 500ක් පමණ බරැති ජෙලට්නයිට් කූරු 250ක් සොයා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. ජෙලට්නයිට්වලට රසායනික ද්‍රව්‍ය එක්කරමින් බෝම්බ සකස් කිරීමේ තාක්ෂණයක් මෙම අන්තවාදීන් භාවිතා කරන බවත්, දේවස්ථාන සහ සංචාරක හෝටල්වල පුපුරාගිය බොම්බ පවා සකස්කර ඇත්තේ එම රසායනික සංයෝජනයන්ට අනුව සකස් කළ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන බවද අනාවරණය වී ඇත.

අක්කර 40ක් පුරාවට විහිදුණු මෙම ඉඩම සහරාන් මිල දී ගෙන ඇත්තේ මොහොමඩ් කාදර් නැමැති ඔහුගේ සමීපතයෙක් නමින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වල දී පුහුණු කඳවුර සහ එහි වළදමා ඇති ජෙලට්නයිට් තොගය ගැන තොරතුරු හෙළිව තිබේ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට එරෙහිව යන මුස්ලිම්වරු පැහැරගෙතනවිත් සිරකර තැබීමට ද මෙම ස්ථානය යොද ගැනීමට සහරාන් සැලසුම්කරගෙන සිටි බව ද ප්‍රශ්න කිරීම් හමුවේ කාදර් නැමැත්තාගෙන් හෙළිවී ඇත. ඒ සඳහා භූගත සිර මැදිරි පවා ඉදිකිරීමට සහරාන් සැලසුම්කරගෙන සිටි බව කාදර් හෙළිකර තිබේ.

නුවරඑළිය පුහුණු මධ්‍යස්ථානය කුළියට ගත් දෙමහල් නිවසක පවත්වාගෙන ගොස් ඇත. එකවර 40 දෙනෙකුට පමණ එහි පුහුණුව ලබාදීමට පහසුකම් තිබී ඇත. එම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ නේවාසික පහසුකම් ද සහිතවය.

ඉකුත් 5 දා කාතන්කුඩියේ ඔල්ලිකුලම ප්‍රදේශයේ පිහිටි තවුහිද් ජමාත් සංවිධානයට අයත් පුහුණු කඳවුරක් කාතන්කුඩිය පොලීසිය සොයාගෙන තිබිණි. අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කරීම්වල දී එම කඳවුර ගැන තොරතුරු හෙළි වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව එම කඳවුර වැටලීය.

සටන් පුහුණුවීම් සඳහා රට වටේම පුහුණු කඳවුරු ස්ථාපිත කිරීමට සහරාන් සැලසුම්කර තිබී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

වනාතවිල්ලුවෙන් ඉකුත් ජනවාරි 16 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේ ද එවන් කඳවුරකි. හම්බන්තොට සහ කුරුණෑගල ද තවත් කඳවුරු දෙකක් ඇතැයි මේ වන විට හෙළි වී ඇත. එම කඳවුරු ද සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්ම වේ. 

නව අදහස දක්වන්න