පොදු ස්ථාන පරීක්ෂා කිරීම් මාධ්‍යයෙන් පෙන්වන්න එපා | දිනමිණ

පොදු ස්ථාන පරීක්ෂා කිරීම් මාධ්‍යයෙන් පෙන්වන්න එපා

ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේදී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

එමෙන්ම ආරක්ෂක මෙහෙයුම් සිදුකරන අවස්ථාවලදී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයන් ඒ සඳහා සහභාගි කර නොගන්නා ලෙස සියලුම ආරක්ෂක අංශවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි උපදෙස් ලබාදී තිබේ.

පාස්කු ඉරිදා දින සිදුවූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකය. ඒ යටතේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන අතර නිවාස, පොදු ස්ථාන සහ රථවාහන පරීක්ෂාවට ලක්කෙරේ.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතුවල රූපරාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස් ද ඊට සම්බන්ධ බවට අදහසක් සමාජය තුළ ඇතිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

මේ පිළිබඳ ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව ජනාධිපතිතුමා වෙතින් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකර තිබෙන අතර, එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සහ සමාජයේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබමින් විමර්ශන කටයුතුවලට අදාළ මාධ්‍ය ප්‍රචාරය ලබාදෙන ලෙස රජය සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

 


නව අදහස දක්වන්න