සහරාන්ගේ මරණය තහවුරුයි සීඅයිඩී‍ය අධිකරණයට කියයි | දිනමිණ

සහරාන්ගේ මරණය තහවුරුයි සීඅයිඩී‍ය අධිකරණයට කියයි

සුභාෂිණී සේනානායක

තවහිද් ජමාත් සංවිධානයේ නායකයකු බව කියන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ සහරාන් හෂීම් නමැත්තා ෂැංග්‍රිලා හෝටලයේ සිදු කළ පිපිරීමේදී මියගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයා දැනුම්වත් කරමින් මියගොස් ඇති බව කියන ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ සොයුරියක් මේ වන විට මඩකලපුව බන්ධනාගාරයේ සිටින බවත් සැකකාරියගේ සහ ත්‍රස්ත නායකයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

බන්ධනාගාර ගත කර සිටින සහරාන්ගේ සොයුරිය අම්පාර රෝහල වෙත ගෙන්වා රුධිර සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කර ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

කොළඹදි බෝම්බ පුපුරුවා හරින ලද බෝම්බ කරුවන්ගේ හිස කොටස් සහ ශරීර කොටස් වල රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත්ද යන්න සොයා බැලීමට එම ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දුන් අතර ඒවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම බෝම්බ කරුවන් ප්‍රවාහනය කළ බව කියන මේ වන විට පොලිස් අත්අඩංගුවේ ඇති වාහන 7 බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍යය ප්‍රවාහනය කර ඇද්ද යන්න සොයා බැලීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

මෙම වාහන භාවිත කර ඇත්තේ පුද්ගලයන් ප්‍රවාහනයට පමණක් බව එම වාහන හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් අධිකරණයට දන්වා සිටි අතර එසේ අනාවරණය වන්නේ නම් වාහන මුදා හැරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති දෙමටගොඩ මහවිල උද්‍යානනයේ පදිංචි කුලුබඩු අපනයන කරුවකු වන ඊබ්‍රහිම් මොහොමඩ් නමැත්තාට ත්‍රස්ත ව්‍යාපාරයට ලබා දීමට ජාත්‍යන්තරයෙන් මුදල් ලැබී තිබේද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අයත් ඉෂානා එන්ටර්ප්‍රයිසස් නමැති ආයතනයේ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.

ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වෙනුවෙන් කාමර දෙකක් වෙන් කර ඇත්තේ එකම පුද්ගලයෙක් බවට විමර්ශන කටයුතු වලින් අනාවරණය වී ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුද මේ වනවිට බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි කියා සිටියේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පුපුරුවා හරින ලද බෝම්බය හේතුවෙන් විදේශ ජාතිකයන් 24 ක් ද ශ්‍රී ලාංකිකයන් 12ක්ද මියගොස් ඇති බවත් විදේශිකයන් 12ක් ඇතුළුව 24 දෙනෙක් තුවාල ලබා ඇති බවත් මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිංග්ස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් විදේශීය ජෑතිකයකු ඇතුළු තුන්දෙනෙකු අතුරුදන් වී ඇති බවත් කියා සිටියේය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක් සිදු කර එහි ප්‍රගතිය අධිකරණයට දන්වා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය කොට්ඨාසය මේ බව කියා සිටියේය.


නව අදහස දක්වන්න