අසත්‍ය ප්‍රචාර හමුවේ තම දරුවන් පාසල් යැවූ මවුපියන්ට ඇමැති අකිලගෙන් තුති | දිනමිණ


 

අසත්‍ය ප්‍රචාර හමුවේ තම දරුවන් පාසල් යැවූ මවුපියන්ට ඇමැති අකිලගෙන් තුති

පසුගිය දිනවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සියලු දෙනා උත්සාහ කරමින් සිටින මොහොතක ඇතැම් කණ්ඩායම් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර හා පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වූවද තම දරුවන් පාසල්වලට යොමු කර දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ සියලු ම මවුපියන්ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පිරිනමයි.

එසේම එම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාවට ද කෘතවේදිත්වය පළ කරන බව ඇමැතිවරයා පවසයි.

මෙවැනි තත්ත්වයක් තුළ වූවද ජනතාව නොමඟ යවන ඇතැම් වෘත්තීය සමිති සිය වෘත්තීය සමිති ජනප්‍රිය කරවා ගැනීමේ අරමුණින් විවිධ අසත්‍ය ප්‍රකාශ මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරමින් ජනතාව මුලා කරමින් සිටින බවත්, එවැනි ක්‍රියාවන් වගකිව යුතු අමාත්‍යාංශයක් ලෙස අප තරයේ හෙළා දකින බවත් සඳහන් කරයි.

ජනප්‍රිය සටන් පාඨ කියමින් සමාජය මුලා කොට සාමාජිකත්ව ප්‍රවර්ධනයේ යෙදෙන ඊනියා වෘත්තීය සමිතිවලට වඩා දරුවන් සහ පාසල් පිළිබඳ වගකීමක් රජයට සහ ආරක්ෂක අංශවලට ඇති බව සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතර, මෙවැනි සංවේදී මොහොතක කළ යුතුව තිබෙන්නේ වාද බේද දුරලා එකට එක්ව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී කටයුතු කිරීම මිස අවස්ථාවාදී අරමුණු හඹායාම නොවන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

නව අදහස දක්වන්න