ගොඩගැසුණු නඩු විසඳීමට විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුයි | දිනමිණ

ගොඩගැසුණු නඩු විසඳීමට විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුයි

නෙල්කා මැදගෙදර, බුද්ධි කරුණාරත්න

අභියාචනාධිකරණයේ ගොඩගැසී ඇති නඩු ඉක්මනින් විසඳා නිම කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සාධාරණ සංඛ්‍යාවකින් වැඩි කළ යුතු යැයි අභියාචනාධිකරණයේ නව සභාපති ලෙස පත් වූ යසන්ත කෝදාගොඩ මහතා පැවැසීය.

අභියාචනාධිකරණයේ දී ඒ මහතා පිළිගැනීම සඳහා ඊයේ පැවැති  නිල උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය අභියාචනාධිකරණයේ ගොඩගැසී ඇති නඩු දෙස බලන විට 2018 ජනවාරි 1 වැනිදා වන විට සිද්ධීන් 4,923 ක් විභාග කිරීම සඳහා තිබෙන බව පැහැදිලියි. 2018 වසර ඇතුළත අලුත් නඩු 1,473ක් උසාවිය හමුවේ පැනවීම හෝ නැවත ලේඛනගත කිරීම සිදු වෙලා. මගේ සහෝදර විනිසුරුවරුන් සහ නිරන්තරයෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන්ගේ අප්‍රතිහත කැපවීම නිසා 2018 වසරේදී නඩු 2,345ක් අවසන් කිරීමට හැකි වුණා. එසේ වූ බැවින් 2019 වසර ආරම්භ වන විට තීන්දු ලබාදීමට නියමිත නඩු ගණන 4051ක් දක්වා අඩු කිරීමට හැකි වුණා. එය වාර්ෂිකව තීන්දුව අපේක්ෂිත නඩු 800ක් පමණ අඩු කිරීමෙන් ඇති කරගත් තත්ත්වයක්.

මේවා අතර වසර 10කට වඩා කල් ඇදෙමින් පවතින සමහර නඩු තිබෙනවා. නඩුවලින් සියයට 40ක් පමණ වසර 5කට කළින් පැනවූ ඒවා. අභියාචනාධිකරණයට පැමිණෙන ඇතැම් නඩු ඊට කළින් අපරාධ හෝ සිවිල් අධිකරණවල දශකයකට වැඩි කාලයක් ඇසූ ඒවායි. මෙයින් බොහොමයක් ඉඩම් සම්බන්ධ ආරවුල්. මේ නඩුවල පාර්ශ්වකරුවන් බොහෝවිට සිටින්නේ කලකිරීමෙන් සහ වෙහෙසට පත්වීමෙන්. මේ අයට සමස්ත අධිකරණ පද්ධතිය ගැනම විශ්වාසය බිඳ වැටී ඇත්දැයි මට සැකයක් තිබෙනවා.

මේ අවස්ථාව අපි එකිනෙකා කෙරෙහි තරග ඇති නොකරගත යුතු අවදියක් යැයි කිවුවොත් ඔබ සැම ඊට එකඟ වනු ඇති. යුක්තිය පසිඳලමේ දී අනවශ්‍ය ප්‍රමාදයන් ඇති වන නිසාත් නඩු පැවැරීම මූල්‍ය සම්පත් සමඟ බැඳී ඇති විටත් නඩු පැවැරීමේ කාලය දීර්ඝ වන විටත් ඒ ගැන ඇති විශ්වාසයක් ඇති වීම අඩු වෙනවා යැයි ද නව සභාපතිවරයා කීවේය.

අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවන් ප්‍රමාණය සාධාරණ ගණනකට වැඩි කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. මේ කටයුත්තේදී වඩාත් සුදුසුම කරුණ වන්නේ නඩුවක් වසරක කාලයක් ඇතුළත අසා තීන්දුව ලබා දීමයි.


නව අදහස දක්වන්න